ශ්‍රී ලන්කන් ගුවන් සමාගම විසින් වසර 14ක් පැරණි ගුවන් යානයක් කල්බදු පදනම මත ලබා ගැනීම පිටුපස මහා පරිමාණ දූෂණයක් සිදුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (07) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය. වාණිජ රහස් බව පවසමින් බලධාරීන් වසන් කිරීමට උත්සාහ කළ මෙම තොරතුරු ලබා ගැනීමට තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව හරහා මාස නවයක් සටන් කිරීමට සිදුවූ බව ඔහු පෙන්වා දුන්නේය.
දැනටමත් වසර 14ක් පැරණි මෙම ගුවන් යානය තවත් වසර අටක කාලයක් සඳහා බදු ගෙන ඇති අතර, බදු කාලය අවසන් වන විට යානයේ වයස අවුරුදු 21කි. ලොව බොහෝ රටවල් වසර 20 ඉක්මවූ යානා භාවිත නොකරන බව අවධාරණය කළ මන්ත්‍රීවරයා, මෙම පැරණි යානය වෙනුවෙන් ශ්‍රී ලංකාව මසකට අමෙරිකානු ඩොලර් 275,000ක අධික මුදලක් ගෙවිය යුතු බව ද සඳහන් කළේය. බදු කාලය අවසානයේ යානය ආපසු භාර දිය යුතු වුවද, එහි සම්පූර්ණ නඩත්තු වගකීම ශ්‍රී ලන්කන් සමාගම සතුය. පැරණි යානයක හයිඩ්‍රොලික් පද්ධති සහ ශක්තිමත්භාවය නඩත්තු කිරීම අතිශය වියදම් අධික මෙන්ම අවදානම් සහගත කටයුත්තක් බව ඔහු පෙන්වා දුන්නේය. මෙම ගනුදෙනුව සාධාරණීකරණය කිරීමට උත්සාහ කළ නිලධාරීන් මින් පෙර සංවේදී ලෙස අදහස් දැක්වූ ආකාරය උපහාසයට ලක් කළ මන්ත්‍රීවරයා, මෙවැනි ගනුදෙනු හරහා දිගින් දිගටම දූෂණ හෙළිදරව් වෙමින් පවතින බව ද පැවසීය.














