ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර පවතින දිගුකාලීන ආර්ථික සහ වෙළඳ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් කරච්චි වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ (KCCI) නියෝජිත පිරිසක් සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) අතර විශේෂ සාකච්ඡාවක් පසුගියදා කොළඹදී පැවැත්විණි. අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම හමුවේදී දෙරට අතර පවතින ආර්ථික හවුල්කාරිත්වය නව මානයන් කරා ගෙන යාම පිළිබඳව දීර්ඝව අවධානය යොමු විය.
මෙහිදී අදහස් දක්වමින් සභාපතිවරයා පෙන්වා දුන්නේ 2005 වසරේදී අත්සන් කරන ලද ශ්‍රී ලංකා – පකිස්ථාන නිදහස් වෙළඳ ගිවිසුම (FTA) ද්විපාර්ශ්වික වෙළඳාම ප්‍රවර්ධනය කිරීමේදී තීරණාත්මක සාධකයක් වූ බවයි. පවතින වෙළඳ ගිවිසුම් රාමුවෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් පෞද්ගලික අංශයේ සහයෝගීතාව ඉහළ නැංවීම සහ වෙළඳ පහසුකම් වැඩිදියුණු කිරීම පිළිබඳව ද දෙපාර්ශවය අතර එකඟතාවක් ඇති විය.
මෙම අවස්ථාවට කරච්චි වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ මුහම්මද් රසා මහතා ඇතුළු නියෝජිත පිරිසක් ද, ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයේ (FCCISL) වැඩබලන මහලේකම් තිලාන් එම්. විජේසූරිය මහතා සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.














