පසුගිය සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් අස්වැසුම ප්‍රතිලාභීන්ට ලබාදුන් අමතර විශේෂ දීමනාවේදී, තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ඇතැම් ප්‍රතිලාභීන්ට ද්විත්ව ගෙවීම් (Double Payments) සිදුව ඇති බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය අද (07) නිල වශයෙන් පිළිගත්තේය.
එම මණ්ඩලයේ සභාපති නිමල් කොටවලගෙදර මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, අත්වැරදීමකින් ගෙවන ලද එම අතිරික්ත මුදල් ප්‍රතිලාභීන්ගේ මෙම මාසයේ (මැයි) හිමිවන අස්වැසුම දීමනාවෙන් කපා ගැනීමට තීරණය කර ඇති බවයි. බැංකු පද්ධතිය හරහා සිදුකළ ගෙවීම්වලදී මෙම ද්විත්ව ගෙවීම් සිදුව ඇති බවට මීට පෙර වාර්තා පළ වූ අතර, ඒ පිළිබඳව සිදුකළ විමර්ශනයකින් පසු මණ්ඩලය මෙම තීරණයට එළඹ තිබේ.














