මැදපෙරදිග කලාපයේ පැවති නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ ශ්‍රී ලංකා – ඊශ්‍රායල ගුවන් සේවා යළි ආරම්භ වීමත් සමඟ, එරට රැකියා සඳහා පිටත්ව යන ශ්‍රී ලාංකිකයින්ට නැවත අවස්ථාව හිමිව තිබේ. ඒ අනුව ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා සඳහා සුදුසුකම් ලැබූ 47 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද (07) උදෑසන එතිහාඩ් ගුවන් සේවයට අයත් EY 593 යානයෙන් පිටත්ව ගිය බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
මෙම කණ්ඩායමට කාන්තාවන් 42 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 5 දෙනෙකු ඇතුළත් වන අතර, මෙය ඊශ්‍රායල රැකියා සඳහා පිටත්ව ගිය 202 වන කණ්ඩායමයි. මෙරට ඉතිහාසයේ වැඩිම විදේශ ප්‍රේෂණ ආදායම ලෙස 2025 වසරේදී අමෙරිකානු ඩොලර් බිලියන 8ක මුදලක් උපයා ඇති බවත්, මේ වසරේදී එම ආදායම තවදුරටත් වර්ධනය කිරීමට අපේක්ෂා කරන බවත් කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළේය. රැකියා අවසන් කර මෙරටට පැමිණෙන ශ්‍රමිකයින්ගේ ස්ථාවරත්වය ඇති කිරීමට කටයුතු කරන බව පැවසූ ඒ මහතා, උපයන මුදල් නිසි ලෙස කළමනාකරණය කරගන්නා ලෙස ද ශ්‍රමිකයන්ගෙන් ඉල්ලා සිටියේය.














