හම්බන්තොට, නාගරවැව ප්‍රදේශයේ කුරුළු උයනක හිමිකරු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අධි ධාරිතාවයෙන් යුත් යතුරුපැදි නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වීම සහ ගංජා ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් නිදොස් කොට නිදහස් කර ඇති බවට පළ වන වාර්තා අසත්‍ය බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය කළ ඉල්ලීමකට අනුව, රේගු ආඥා පනත යටතේ යතුරුපැදි ආනයනය කිරීම පිළිබඳවත්, ගංජා ළඟ තබා ගැනීම පිළිබඳවත් වෙන වෙනම නඩුකර දෙකක් වශයෙන් ඉදිරියට පවත්වාගෙන යාමට හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (06) අවසර ලබා දී ඇත. එහිදී සිදුව ඇත්තේ මුල් බී වාර්තාව (B Report) අවසන් කර නඩුකර දෙකක් ලෙස ගොනු කිරීම මිස සැකකරුවන් නිදහස් කිරීමක් නොවන බව පොලිසිය වැඩිදුරටත් අවධාරණය කරයි.














