ජාතික අක්ෂි බැංකුවට වසර 15ක් සපිරීම සහ හෙටට (08) යෙදී ඇති ලෝක තැලසීමියා දිනය නිමිත්තෙන් විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අද (07) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි. එහිදී අක්ෂි සෞඛ්‍යය සහ තැලසීමියා රෝගය වැළැක්වීම සම්බන්ධයෙන් විශේෂ කරුණු රැසක් අනාවරණය විය. ජාතික අක්ෂි බැංකුව ආරම්භයේ සිට මේ දක්වා කුණිත 17,000කට අධික ප්‍රමාණයක් එකතු කර ඇති අතර ඉන් 12,000ක් මෙරට රෝගීන් සඳහා බද්ධ කර ඇත. ඇස් දන් දීම අතින් ලෝකයේ ඉදිරියෙන්ම සිටින රටක් ලෙස ශ්‍රී ලංකාවේ අක්ෂි බැංකුවට සිංගප්පූරුව සහ දකුණු අප්‍රිකාව වැනි රටවලින් ද ඉහළ ඉල්ලුමක් පවතින බව මෙහිදී අනාවරණය විය. දරුවන්ගේ පෙනීමේ දුර්වලතා අධ්‍යාපනයට බාධාවක් වන බැවින් පාසල් වෛද්‍ය පරීක්ෂණ සඳහා දරුවන් යොමු කිරීමේ වැදගත්කම වෛද්‍යවරුන් මෙහිදී අවධාරණය කළහ.
ලෝක තැලසීමියා දිනය පිළිබඳව අදහස් දක්වමින් වෛද්‍යවරුන් පෙන්වා දුන්නේ මෙරට රෝගීන් 2,500ක් පමණ සිටින අතර වසරකට අලුතින් දරුවන් 60කට ආසන්න පිරිසක් එක්වන බවයි. විවාහයට පෙර තරුණ තරුණියන් තැලසීමියා වාහක පරීක්ෂණ (Full Blood Count) සිදු කර ගැනීම මඟින් මෙම රෝගය වළක්වා ගත හැකි බව පෙන්වා දුන් අතර රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඇටමිදුළු බද්ධ කිරීමේ සාර්ථක ප්‍රතිකාර ක්‍රමවේද ක්‍රියාත්මක වන බව ද සඳහන් විය. ජාතික අක්ෂි බැංකුවේ 15 වැනි සංවත්සර උත්සවය හෙට (08) සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතය.














