හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමේ මෙහෙයුම් ආරම්භ වීමත් සමඟ ඇමරිකානු හමුදා වෙත පනවා තිබූ සිය කලාපීය පදනම් (Bases) සහ ගුවන් සීමා (Airspace) භාවිත කිරීමේ සීමාවන් ඉවත් කිරීමට සෞදි අරාබිය සහ කුවේටය තීරණය කර තිබේ. ඇමරිකානු සහ සෞදි බලධාරීන් උපුටා දක්වමින් Wall Street Journal පුවත්පත වාර්තා කරන්නේ, ට්‍රම්ප් පරිපාලනය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා වාණිජ නෞකාවලට ආරක්ෂාව සැපයීමේ ‘ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම්’ (Project Freedom) මෙහෙයුම මේ අනුව ඉදිරි දින කිහිපය තුළ යළි ආරම්භ කරනු ඇති බවයි.
පසුගියදා මෙම මෙහෙයුම ආරම්භ කර පැය 36කට පසු තාවකාලිකව නතර කිරීමට පෙන්ටගනයට සිදුවූයේ සෞදිය ඇතුළු කලාපීය රටවල් සිය ගුවන් සීමා භාවිතයට දැඩි කොන්දේසි පැනවීම හේතුවෙනි. එහෙත් නව එකඟතාවන් මත ඇමරිකානු ප්‍රහාරක යානා සහ නාවික හමුදාවන්ට යළි පූර්ණ සහයෝගය ලබාදීමට ගල්ෆ් රටවල් එකඟ වී ඇති අතර, එය මැදපෙරදිග යුදමය ස්ථාවරය කෙරෙහි තීරණාත්මක බලපෑමක් එල්ල කරනු ඇතැයි ආරක්ෂක විශ්ලේෂකයෝ පෙන්වා දෙති.














