ලොව සුප්‍රකට සෝනි (Sony) සමාගම 2027 මාර්තු මාසයෙන් අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා සිය මෙහෙයුම් ලාභය 11% කින් ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර තිබේ. කෙසේ වෙතත්, මතක චිප් (Memory chips) මිල ඉහළ යාම සහ ඉරාන යුද්ධය හේතුවෙන් සැපයුම් දාමයන්ට එල්ල වී ඇති බාධා හමුවේ ඔවුන්ගේ ක්‍රීඩා උපකරණ (Gaming hardware) අලෙවිය පහත වැටෙනු ඇතැයි එම සමාගම පවසයි.
විශේෂයෙන්ම ප්ලේස්ටේෂන් 5 (PS5) කොන්සෝල සඳහා අවශ්‍ය මතක චිප් සාධාරණ මිලකට ලබා ගැනීමට ඇති අපහසුව නිසා පසුගිය වසරට සාපේක්ෂව දෘඩාංග අලෙවිය 14% කින් පමණ පහත වැටී ඇත. මීට පිළියමක් ලෙස සෝනි සමාගම පසුගිය මාර්තු මාසයේදී PS5 කොන්සෝලයක මිල ඇමරිකානු ඩොලර් 100 කින් පමණ ඉහළ දැමීමට ද පියවර ගත්තේය. ඉරාන යුද්ධය හේතුවෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන ප්‍රවාහන කටයුතු අඩාල වීම ද මෙම මිල ඉහළ යාමට ප්‍රබල හේතුවක් වී තිබේ.
කෙසේ වෙතත්, මෘදුකාංග (Software) අලෙවිය හරහා සිය ලාභය වැඩිකර ගැනීමට සෝනි සමාගම අපේක්ෂා කරයි. විශේෂයෙන්ම 2026 නොවැම්බර් මාසයේදී නිකුත් වීමට නියමිත “Grand Theft Auto VI” ක්‍රීඩාව හරහා දැවැන්ත ආදායමක් උපයා ගත හැකි වනු ඇතැයි විශ්ලේෂකයෝ පවසති. මීට අමතරව සිය චිප් නිෂ්පාදන සහ චිත්‍රපට අංශවල ලාභය ඉහළ යනු ඇතැයි පවසන සෝනි සමාගම, කොටස් වෙළඳපොළ තුළ සිය කොටස් නැවත මිලදී ගැනීම සඳහා යෙන් බිලියන 500 ක් වැය කිරීමට ද සැලසුම් කර ඇත.














