ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ හදිසි මරණයත් සමඟ රටේ පවතින අනාරක්ෂිත තත්ත්වය පිළිබඳව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අද (09) සිය දැඩි කනස්සල්ල පළ කළේය. මුදල් අමාත්‍යාංශයේ අතිරේක අධ්‍යක්ෂවරයාගේ සහ කපිල චන්ද්‍රසේන මහතාගේ මරණ සියදිවි නසා ගැනීම් ලෙස පෙනෙන්නට තිබුණද, ඒ පිටුපස බරපතළ සැකසංකා පවතින බවත්, ආණ්ඩුවේ දේශපාලන දඩයම් හේතුවෙන් පුද්ගලයන් මෙවැනි ඉරණම්වලට තල්ලු වෙමින් පවතින බවත් ඔහු චෝදනා කරයි.
වීරවංශ මහතා පෙන්වා දෙන්නේ මේ වන විට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බුද්ධි අංශ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා වැනි පුද්ගලයන්ගේ ජීවිත කෙරෙහි ද මෙවැනිම අවදානමක් මතුවිය හැකි බවයි. “සුරේෂ් සලේ වැනි කෙනෙක් ඇප ලබා එළියට ආවොත් ඔහුට හිමිවන ආරක්ෂාව කුමක්ද? ඔහුට මොනවා වෙයිද කියන බිය දැන් අපට තිබෙනවා” යැයි ඔහු ප්‍රකාශ කළේය. විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන විමර්ශන මැද මෙවැනි ඉහළ පෙළේ සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව රජය විසින් තහවුරු කළ යුතු බව ඔහු අවධාරණය කළේය.
ආණ්ඩුව ආර්ථිකය පාලනය කරගත නොහැකිව රුපියල අවප්‍රමාණය වෙමින් පවතින මොහොතක, ජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීම සඳහා “හිරේ දැමිය යුතු ලැයිස්තු” කියවමින් කාලය නාස්ති කරන බවට ද වීරවංශ මහතා මෙහිදී චෝදනා කළේය. පාස්කු ප්‍රහාරය පිළිබඳව පත් කර ඇති නව කොමිසම හමුවේ සාක්ෂි දීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් සූදානමින් සිටින බවත්, යුක්තිය ඉටු කිරීම වෙනුවට පළිගැනීමේ දේශපාලනයක් සිදු නොකරන ලෙසත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
















