ශ්‍රී ලංකාව ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය ඉදිරි දින කිහිපයේදී ද තවදුරටත් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද නිවේදනය කළේය. මේ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1:00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත් මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ. මීට අමතරව මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ. පවතින අයහපත් කාලගුණය හේතුවෙන් නායයෑම් සහ ගංවතුර අවදානම් සහිත ප්‍රදේශවල වසන ජනතාව වඩාත් විමසිලිමත් වීම මෙන්ම ක්ෂණික කාලගුණ නිවේදන කෙරෙහි අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ.














