ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක 2026 වර්ෂයේ සියලු සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය විමසා බැලීමේ විශේෂ හමුවක් පසුගියදා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිල සහ නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේදී වසරේ පළමු කාර්තුවේ ප්‍රගතිය මෙන්ම ඉදිරි සැලසුම් පිළිබඳව ද දීර්ඝ වශයෙන් අවධානය යොමු විය.
මෙහිදී විශේෂයෙන්ම සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා ක්‍රියාත්මක වන අස්වැසුම ප්‍රතිලාභීන් සවිබල ගැන්වීමේ ක්‍රියාවලිය තවදුරටත් වේගවත් කරන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය වන ප්‍රජා ශක්ති වැඩසටහන අපේක්ෂිත ඉලක්ක කරා කඩිනමින් යොමු කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී දැඩි ලෙස අවධාරණය කෙරිණි.
සමාජ ආරක්ෂණ මණ්ඩලය, වැඩිහිටි සහ ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික මහලේකම් කාර්යාල ඇතුළු අමාත්‍යාංශය යටතේ පවතින සියලුම ආයතනවල ව්‍යාපෘති නිසි අධීක්ෂණයකින් යුතුව පවත්වාගෙන යා යුතු බව අමාත්‍යවරයා පවසා සිටියේය. රාජ්‍ය මූල්‍ය විධිවිධානවලට අනුකූලව ජනතාවට උපරිම සේවාවක් සැලසීම සඳහා සියලු සංවර්ධන වැඩසටහන් කඩිනම් කරන ලෙස ඔහු වැඩිදුරටත් නිලධාරීන්ට දැනුම් දුන්නේය.














