චීනයේ මෝජෑන් නුවර පැවති 20 වැනි ලොව විශාලතම නිවුන් උළෙලේදී (World Largest Twins Festival – 2026) විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකරගත් ශ්‍රී ලංකා නිවුන් කණ්ඩායම ඊයේ රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළින් යළි දිවයිනට පැමිණියේය. ලෝකයේ රටවල් 47 ක සහභාගීත්වයෙන් පැවති මෙම දැවැන්ත තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ කණ්ඩායම ඉදිරිපත් කළ නර්තනාංගය මුළු මහත් උළෙලේම හොඳම නර්තනාංගයට හිමි සම්මානය දිනාගැනීම සුවිශේෂී සන්ධිස්ථානයකි.
අපේ සංස්කෘතික අනන්‍යතාව ලොවටම ප්‍රදර්ශනය කරමින් පහතරට නැටුම් සම්ප්‍රදායට අයත් ”අංගම්පාලිය” ඇසුරෙන් ඉදිරිපත් කළ මෙම නර්තනාංගය සඳහා ජාත්‍යන්තර ප්‍රේක්ෂකයන්ගෙන් මෙන්ම විනිසුරු මඩුල්ලෙන් ද අති විශාල ප්‍රතිචාරයක් හිමිවිය. අප්‍රේල් මස අවසානයේ සිට මැයි 04 වනදා දක්වා පැවති මෙම උළෙල ජයග්‍රහණය කළ කණ්ඩායම ඊයේ රාත්‍රී 09.28 ට චීන ගුවන් සේවයට අයත් CA-425 දරන ගුවන් යානයෙන් මෙරටට පැමිණෙන විට ඔවුන් පිළිගැනීමට විශාල පිරිසක් එක්ව සිටියහ.
මෙම ජයග්‍රාහී උද්යෝගයත් සමඟ ලෝක නිවුන් සම්මේලනයේ මෙරට ශාඛාව විසින් එළඹෙන සැප්තැම්බර් මාසයේදී කොළඹ කේන්ද්‍ර කර ගනිමින් තවත් දැවැන්ත ලෝක නිවුන් උළෙලක් සහ තරගාවලියක් මෙරටදී පැවැත්වීමට මේ වන විටත් කටයුතු සූදානම් කරමින් පවතින බව වාර්තා වේ. එය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට මෙන්ම සංස්කෘතික ක්ෂේත්‍රයට ද නව ජවයක් එක් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
















