සිංහල සහ හින්දු අලුත් අවුරුදු සමයේ මදක් පහත බැස තිබූ එළවලු මිල මේ වන විට යළිත් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව තොග සහ සිල්ලර වෙළෙන්දෝ පවසති. උඩරට සහ පහතරට එළවලු වර්ග රැසක මිල මෙලෙස ඉහළ ගොස් ඇති අතර බෝංචි කිලෝවක් රුපියල් 500ක්, කැරට් රුපියල් 450ක් සහ ලීක්ස් රුපියල් 300ක් වැනි ඉහළ මිල ගණන් යටතේ සිල්ලර වෙළඳපොළේ අලෙවි වේ. මාළු මිරිස් කිලෝවක් රුපියල් 400ක් සහ ගෝවා රුපියල් 200ක් දක්වා ඉහළ ගොස් තිබීම නිසා සාමාන්‍ය පාරිභෝගිකයාට එළවලු මිලදී ගැනීම දැඩි ගැටලුවක් වී තිබේ.
පහතරට එළවලු මිල ගණන් ද පවතින්නේ ඉතා ඉහළ මට්ටමක වන අතර වම්බටු, කරවිල, වැටකොළු සහ බණ්ඩක්කා යන එළවලු වර්ග කිලෝවක් රුපියල් 400 සිට 600 දක්වා වූ මිල ගණන්වලට අලෙවි වන බව වාර්තා වේ. පවතින මෙම අධික මිල හමුවේ බොහෝ පාරිභෝගිකයන් එළවලු මිලදී ගැනීම සීමා කර ඇති අතර වෙළඳපොළේ එළවලු අලෙවිය ද සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බව වෙළෙන්දෝ පෙන්වා දෙති. එදිනෙදා වේල සරිකර ගන්නා ජනතාවට මෙම මිල ඉහළ යාම දරාගත නොහැකි බරක් වී ඇත.
අවුරුදු සමයේ ගොවීන් සිය අස්වැන්න තොග වශයෙන් වෙළඳපොළට නිකුත් කිරීම හේතුවෙන් මේ වන විට ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති වීම මෙම මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව බව නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ නිලධාරියෙක් සඳහන් කළේය. මැයි මාසය වන විට එළවලු සැපයුම අඩුවීම සාමාන්‍ය තත්ත්වයක් වුවද මෙවර මිල ගණන් පෙර වසරවලට වඩා වැඩි අගයක් ගන්නා බව ද පෙනී යයි. පවතින කාලගුණික තත්ත්වයන් ද මෙම මිල උච්චාවචනයන්ට යම් බලපෑමක් එල්ල කර ඇති බව වෙළඳපොළ ආරංචි මාර්ග පවසයි.













