සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් (Samsung Electronics) සමාගමේ සේවක සංගමය මැයි 21 වැනිදා සිට දින 18ක වැඩවර්ජනයක් ප්‍රකාශයට පත් කර ඇති පසුබිමක, වැටුප් සාකච්ඡා නැවත ආරම්භ කරන ලෙස සමාගම ඉල්ලීමක් කර තිබේ. රජයේ මැදිහත්වීමෙන් පැවැති සාකච්ඡා අසාර්ථක වීමෙන් පසුව සමාගම මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර, වර්ජනය වැළැක්වීම සඳහා ලබන සෙනසුරාදා තවත් සාකච්ඡා වටයක් පවත්වන ලෙස දකුණු කොරියානු කම්කරු කොමිසම ද දෙපාර්ශ්වයෙන්ම ඉල්ලා ඇත.
කෙසේ වෙතත්, වෘත්තීය සමිති නියෝජිත චෝයි සේං-හෝ ප්‍රකාශ කරන්නේ ප්‍රසාද දීමනා ක්‍රමයේ විනිවිදභාවයක් ඇති නොකර සාකච්ඡා ඉදිරියට ගෙන යාම පලක් නොවන බවයි. ප්‍රතිවාදී චිප් නිෂ්පාදකයෙකු වන SK Hynix සමාගමේ ප්‍රසාද දීමනාවලට සාපේක්ෂව සැම්සුන් සමාගම ලබාදෙන දීමනාවල පවතින විශාල පරතරය පිළිබඳව වෘත්තීය සමිතිය දැඩි විරෝධය පළ කර සිටියි.
දකුණු කොරියානු මුදල් අමාත්‍ය කූ යුන්-චෝල් පෙන්වා දෙන්නේ ඕනෑම ආකාරයකින් මෙම වර්ජනය වැළැක්විය යුතු බවයි. එරට ආර්ථිකය මේ වන විට අර්ධ සන්නායක (Chip) අපනයනය මත බෙහෙවින් යැපෙන අතර, පසුගිය අප්‍රේල් මාසයේ දත්තවලට අනුව දකුණු කොරියාවේ සමස්ත අපනයනයෙන් 37%ක්ම සපුරා ඇත්තේ මෙම ක්ෂේත්‍රය මඟිනි. වර්ජනය ක්‍රියාත්මක වුවහොත් එය එරට ආර්ථික වර්ධනයට සහ වෙළඳපොළ ස්ථාවරත්වයට සෘජු තර්ජනයක් වනු ඇත.














