කියුබාව පුරා පවතින දැඩි විදුලි කප්පාදුව සහ බලශක්ති අර්බුදය හමුවේ ඇමෙරිකානු රජය ඉදිරිපත් කළ ඩොලර් මිලියන 100ක මානුෂීය ආධාර යෝජනාව සමාලෝචනය කිරීමට සූදානම් බව කියුබානු රජය නිවේදනය කර තිබේ. කියුබානු විදේශ අමාත්‍ය බෲනෝ රොඩ්‍රිගස් ඊයේ (14) ප්‍රකාශ කළේ, මෙම යෝජනාව ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ විස්තර දැනගැනීමට තම රට සූදානම් බවයි.
ඇමෙරිකානු සම්බාධක හේතුවෙන් කියුබාවේ ඉන්ධන සැපයුම සීමා වීම නිසා බලශක්ති පද්ධතිය දැඩි අර්බුදයකට ලක්ව ඇති අතර, රෝහල්, පාසල් සහ රජයේ කාර්යාලවල කටයුතුවලට ද ඉන් දැඩි බලපෑම් එල්ල වී ඇත. මීට පෙර කියුබාවට ඉන්ධන සැපයූ වෙනිසියුලාව සහ මෙක්සිකෝව ද ඇමෙරිකානු තීරුබදු තර්ජන හමුවේ සිය සැපයුම් නවත්වා ඇති බව වාර්තා වේ.
මෙම ආධාර ලබාදීමේදී ඒවා කියුබානු රජය හරහා නොව කතෝලික පල්ලිය හෝ ස්වාධීන මානුෂීය සංවිධාන හරහා බෙදා හැරිය යුතු බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ස්ථාවරය වී ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියුබානු විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ සැබෑ සහයෝගීතාවයෙන් ලබා දෙන ආධාර තම රට ප්‍රතික්ෂේප නොකරන නමුත්, ඇමෙරිකාවට කළ හැකි හොඳම උපකාරය වන්නේ පනවා ඇති දැඩි ආර්ථික සම්බාධක ලිහිල් කිරීම බවයි.














