ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා රැස් වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව, NDB බැංකුවේ සිදුවී ඇති මූල්‍ය වංචාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් කරුණු විමසා සිටියේය. මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් සහභාගී වී සිටියහ.
මෙහිදී මහ බැංකුව පෙන්වා දුන්නේ මෙම මූල්‍ය වංචාව හේතුවෙන් NDB බැංකුවේ කොටස් මිල පහත වැටීමට සහ ශ්‍රේණිගත කිරීම් අවප්‍රමාණය වීමට සෘජුවම බලපෑම් එල්ල වී ඇති බවයි. මෙම වංචාව හඳුනා ගැනීමට අභ්‍යන්තර සහ බාහිර විගණන අංශ මෙන්ම මහ බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව අසමත් වූයේ කෙසේද යන්න පිළිබඳව කාරක සභාව ප්‍රශ්න කළේය. මහ බැංකු නිලධාරීන් මෙහිදී පවසා සිටියේ අදාළ කාලසීමාව තුළ එවැනි අසාමාන්‍යතා පිළිබඳව කිසිදු කරුණක් මතු වී නොතිබූ බවයි.
වංචාව සිදුවූ කාලසීමාවේ සිටි විගණන කමිටුවම තවදුරටත් එම කටයුතුවල නිරත වීම සහ ඔවුන් විසින්ම තමන් පිළිබඳව විමර්ශනයක් කිරීම ගැටලුකාරී බව කාරක සභාව අවධාරණය කළේය. එමෙන්ම බැංකු පද්ධතිය තුළ පවතින යල් පැනගිය ආරක්ෂක ප්‍රමිතීන් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
ඉදිරියේදී මෙවැනි වංචා වැළැක්වීම සඳහා කෘතිම බුද්ධිය (AI) සහිත නවීන තාක්ෂණික පද්ධති සහ පොදු නියාමන රාමුවක් හඳුන්වා දීමේ වැදගත්කම කාරක සභාව විසින් පෙන්වා දෙන ලදී. බැංකුවල වංචා කළමනාකරණ පද්ධති (Fraud Management Systems) වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය රෙගුලාසි නිකුත් කිරීමට මහ බැංකුවේ අවධානය යොමු වී ඇති බවත්, ඒ පිළිබඳව මේ වන විට සාකච්ඡා වෙමින් පවතින බවත් මහ බැංකු නිලධාරීහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළහ.
















