ශාසනයේ උන්නතිය වෙනුවෙන් වැරදි කරන පුද්ගලයන් තරාතිරම නොබලා සිවුරෙන් ඉවත් කිරීමට පියවර ගත යුතු බව රාමාඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ඕමල්පේ සෝභිත නාහිමියෝ අවධාරණය කරති. ඊයේ (14) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.
වත්මන් ශාසනික අර්බුදවලට විසඳුමක් ලෙස ‘සංගායනාවක්’ හෙවත් ශාසන සංශෝධනයක් පැවැත්වීම අත්‍යවශ්‍ය කරුණක් බව උන්වහන්සේ පෙන්වා දුන්හ. විශේෂයෙන්ම සංඝාධිකරණය මඟින් ලබාදෙන තීන්දු නිසි පරිදි ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය රාජ්‍ය බලය ලබා ගැනීමට මහනායක හිමිවරුන් කඩිනමින් මැදිහත් විය යුතු බව උන්වහන්සේ සඳහන් කළහ.
පසුගිය දිනවල සිදුවූ අහිතකර සිදුවීම් කිහිපයක් මුල් කරගනිමින් සමස්ත භික්ෂු සමාජයටම අපහාස කිරීමේ ප්‍රවණතාවක් නිර්මාණය වී ඇති බවත්, එය ඉතා වැරදි සහගත බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ. එක් පුද්ගලයෙකු හෝ දෙදෙනෙකු කරන වැරදි හේතුවෙන් සමස්ත ශාසනයම වැරදිකරුවන් නොකළ යුතු බව උන්වහන්සේ අවධාරණය කළහ.
කළ යුත්තේ වැරදි කරන පුද්ගලයන්ට එරෙහිව ධර්මානුකූලව සහ විනයානුකූලව දැඩි පියවර ගැනීම බව සෝභිත හිමියෝ පැවසූහ. මහා නායක හිමිවරුන් විසින් මේ සම්බන්ධයෙන් රජය වෙත ඉදිරිපත් කර ඇති යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කර ශාසනයේ ගෞරවය ආරක්ෂා කිරීමට කටයුතු කළ යුතු බව උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියහ.














