මෙරට සමස්ත ජනගහනයෙන් සියයට 20කට ආසන්න සංඛ්‍යාවක් කවර හෝ බෝ නොවන රෝගයකින් පෙළෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ 2024 වාර්තා මඟින් මෙය තහවුරු කර ඇති අතර, මෙරට සිදුවන මරණවලින් සියයට 80කට පමණ වගකිව යුත්තේ බෝ නොවන රෝග බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නේය.
ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ කළුතර, වීදියගොඩ ආයුර්වේද මූලික රෝහල් පරිශ්‍රයේ රුපියල් මිලියන 250ක වියදමින් ඉදි කළ සිව් මහල් වාට්ටු සංකීර්ණය ඊයේ (14) ජනතා අයිතියට පත් කරමිනි. බස්නාහිර පළාත් සභා ප්‍රතිපාදන මත ඉදි වූ මෙම නව සංකීර්ණය බාහිර රෝගී අංශය, ඇඳන් 50ක ධාරිතාවකින් යුත් වාට්ටු හතරක්, පරිපාලන ඒකකයක් සහ වෛද්‍ය නිල නිවාස ඇතුළු පහසුකම් රැසකින් සමන්විත වේ.
වීදියගොඩ ආයුර්වේද රෝහල මඟින් සන්ධි රෝග, චර්ම රෝග, ස්නායු රෝග සහ අධිරුධිර පීඩනය වැනි පොදු සායනවලට අමතරව පිළිකා, මානසික රෝග සහ රූපලාවණ්‍ය සායන ද පවත්වාගෙන යනු ලබයි. එසේම නේවාසික රෝගීන් සඳහා පංචකර්ම හා චීන කටු ප්‍රතිකාර වැනි විශේෂ සේවාවන් ද මෙහිදී ක්‍රියාත්මක වේ.
වර්තමාන සෞඛ්‍ය ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රධානතම අභියෝගය බෝ නොවන රෝග බව පැවසූ ඇමැතිවරයා, ඉදිරි වසර කිහිපය තුළ මෙම රෝහල දිවයිනේ නන්දෙසින් රෝගීන් පැමිණෙන සුවිශේෂී මධ්‍යස්ථානයක් වනු ඇති බවට විශ්වාසය පළ කළේය. බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූෂුෆ් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ මහජන නියෝජිතයන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
















