පුත්තලම දිස්ත්‍රික්කයේ පොලිස් නිලධාරීන් මුහුණ දෙන වෘත්තීය හා පෞද්ගලික ගැටලු හඳුනාගෙන ඒවාට කඩිනම් විසඳුම් ලබාදීම සඳහා මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (15) හලාවතදී පැවැත්වුණා. හලාවත සහ පුත්තලම යන පොලිස් කොට්ඨාසවල සේවය කරන නිලධාරීන්ගේ සුබසාධනය සහ ප්‍රදේශයේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ සොයා බැලීම මෙහි ප්‍රධාන අරමුණ වූ අතර, එහිදී නිලධාරීන්ට තම ගැටලු සෘජුවම අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී තිබුණා. විශේෂයෙන්ම ස්ථාන මාරුවීම් සහ උසස්වීම් සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවලට එම ස්ථානයේදීම විසඳුම් ලබා දීමට අමාත්‍යවරයා පියවර ගත් අතර, වයඹ පළාත තුළ පොලිස් නිලධාරීන්ගේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට රජය ලබා දුන් ප්‍රතිපාදන යොදාගෙන ඇති ආකාරය පිළිබඳව ද මෙහිදී සමාලෝචනය කෙරුණා.
වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා විසින් පළාතේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය පැහැදිලි කළ අතර, එම කටයුතු අමාත්‍යවරයාගේ ඇගයීමට ලක්වුණා. මීට අමතරව, දිස්ත්‍රික්කය තුළ සිදුවන සංවිධානාත්මක අපරාධ සහ විෂ මත්ද්‍රව්‍ය උවදුර මැඩපැවැත්වීම සඳහා දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද අවධානය යොමු කළ අමාත්‍යවරයා, මහජනතාවට බියෙන් සැකෙන් තොරව ජීවත් විය හැකි වටපිටාවක් නිර්මාණය කිරීම සඳහා කැපවීමෙන් කටයුතු කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නා. පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ඇතුළු උසස් පොලිස් නිලධාරීන් රැසක් සහභාගී වූ මෙම හමුව හරහා පොලිස් සේවයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට අවශ්‍ය මගපෙන්වීම් රැසක් සිදු කෙරුණා.














