දෙමළ ජනතාව වෙනුවෙන් තමිල්නාඩු මහ ඇමතිවරයා සිය හඬ අවදි කළ යුතු බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා මේ දිනවල ඉන්දියාවේ චෙන්නායි නුවර සංචාරයක නිරත වෙයි. තමිල්නාඩු මහ ඇමති ජෝශප් විජේ (තලපති විජේ) හමුවීමේ අරමුණින් එහි ගොස් සිටින මන්ත්‍රීවරයා, TVK පක්ෂයේ අමාත්‍ය රාජ්මෝහන් මහතා හමුවී සාකච්ඡා පවත්වා ඇති අතර ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වා තිබේ. කෙසේ වෙතත්, මේ දක්වා මන්ත්‍රීවරයාට මහ ඇමති විජේ මහතා හමුවීමට අවස්ථාවක් හිමිව නොමැති බව වාර්තා වේ.
තමිල්නාඩුවේ සිදුවූ දේශපාලන වෙනස පිළිබඳව අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, විජේ මහතා මහ ඇමති ධුරයේ දිවුරුම් දෙන අවස්ථාව සජීවීව දැකබලා ගැනීමට තමන්ට දැඩි ආසාවක් තිබූ නමුත් මෙරට පාර්ලිමේන්තු කටයුතු හේතුවෙන් එය මගහැරුණු බවයි. තමිල්නාඩු ජනතාව සිදුකළ මෙම ඓතිහාසික දේශපාලන පෙරළිය පිළිබඳව තමන් මුල සිටම විශ්වාස කළ බවත්, බලගතු දේශපාලන විචාරකයින් පවා මවිත කරමින් ජනතාව මෙම තීන්දුව ගෙන ඇති බවත් ඔහු පැවසීය. දෙමළ ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් තමිල්නාඩු රජයේ මැදිහත්වීම තවදුරටත් අපේක්ෂා කරන බව ද මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කළේය.














