ගෝලීය වශයෙන් පවතින දැඩි අවිනිශ්චිත දේශපාලන හා යුදමය වාතාවරණය හමුවේ, ශ්‍රී ලංකාවේ බිඳවැටීමට ලක්විය හැකි විදේශ විනිමය සංචිත ආරක්ෂා කර ගැනීම සඳහා වාහන ආනයන බදු මත 50% ක තාවකාලික අධිභාරයක් පැනවීමට රජය ගත් තීරණය “නුවණක්කාර සහ කාලෝචිත පියවරක්” බව හිටපු විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසයි.
තම සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කරමින් අලි සබ්‍රි මහතා පෙන්වා දෙන්නේ, දැනට ලෝකයේ පවතින ගැටුම් ඇමරිකාව හෝ ඉස්රායලය අපේක්ෂා කරනවාට වඩා දිගු කාලයක් ඇදී යා හැකි බව තමන් මුල සිටම අනතුරු ඇඟවූ බවයි. මේ හේතුවෙන් ශ්‍රී ලංකාව වැනි ආනයන මත යැපෙන කුඩා ආර්ථිකයන් සහිත රටවලට එල්ල වන පීඩනය තවදුරටත් ඉහළ යන බව ඔහු සඳහන් කරයි.
කෙසේ වෙතත්, 2026 මැයි 15 දින හෝ ඊට පෙර විවෘත කරන ලද ණයවර ලිපි (LCs) සඳහා මෙම බදු ඉහළ නැංවීම අදාළ නොකිරීමට රජය ගත් තීරණය ඔහු අගය කර තිබේ. එය ආනයනකරුවන් අනවශ්‍ය පරිපාලනමය ගැටලුවලින් සහ අතීතයට බලපාන පරිදි පනවන බදු සංකූලතාවලින් ආරක්ෂා කරන “සාධාරණ සහ සංවේදී පියවරක්” බව ඔහු කියා සිටියේය. ජාත්‍යන්තර ගැටුම් හේතුවෙන් බලශක්ති වෙළෙඳපොළ, වෙළෙඳ මාර්ග, සංචාරක ව්‍යාපාරය සහ විදේශීය මූල්‍ය ආධාරවලට සිදුවන බාධා කිරීම් හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිමත් වීම තවමත් පවතින්නේ අවදානම් අඩියක බවත්, මෙවැනි යුද්ධවල බරපතළ ආර්ථික ප්‍රතිවිපාක විඳීමට සිදුවන්නේ අවදානමට ලක්වූ රටවල සාමාන්‍ය ජනතාවට බැවින් සියලු පාර්ශවයන් ආක්‍රමණ වෙනුවට සාමකාමී රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා මාර්ගවලට අවතීර්ණ විය යුතු බවත් අලි සබ්‍රි මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.












