ගම්පොළ, දොරගල කිතුල්බැද්ද ප්‍රදේශයේදී පාපැදියකින් ගමන් කරමින් සිටි 19 හැවිරිදි තරුණයෙකු අඩි 15ක පමණ ගැඹුරු දියවළකට වැටීමෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව ගම්පොළ පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මියගිය තරුණයා සිය ඥාති සහෝදරයෙකු ද සමඟ පාපැදියකින් ගමන් කරමින් සිට ඇති බවයි. බෑවුම් සහිත මාර්ගයක ධාවනය වෙමින් තිබූ මෙම පාපැදියේ තිරිංග (Brakes) හදිසියේම ක්‍රියාවිරහිත වීම හේතුවෙන් එය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගය අසල තිබූ මෙම ගැඹුරු දියවළට පෙරළී ගොස් තිබේ.
අනතුර සිදුවූ වහාම ප්‍රදේශවාසීන් එක්ව තරුණයා දියවළෙන් ගොඩගෙන රෝහල්ගත කිරීමට පියවර ගත්ත ද, ඒ වන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටි බව වාර්තා වේ. අනතුරට පත් අනෙක් තරුණයා සුළු තුවාල ලබා බේරී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ගම්පොළ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.












