වාහන ආනයන සීමාවන් ඉවත් කිරීමෙන් පසු, මෙරට වාහන ආනයනය සඳහා වැය කර ඇති සමස්ත මුදල ඇමරිකානු ඩොලර් බිලියන 3කට (රුපියල් බිලියන 900කට අධික) ආසන්න වෙමින් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව අනාවරණය කරයි. 2019 වසරෙන් පසු තහනම් කර තිබූ වාහන ආනයන සීමාවන් රජය විසින් ක්‍රමයෙන් ලිහිල් කළ අතර, 2025 ජනවාරි මාසය වන විට පුද්ගලික වාහන සඳහා පැවති සියලුම සීමාවන් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට පියවර ගැනුණි.
මහ බැංකු වාර්තාවලට අනුව, පසුගිය 2025 වසරේදී පමණක් වාහන ආනයනය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන 2.04ක් වැය කර ඇති අතර, මේ වසරේ (2026) පළමු කාර්තුව (මාස 3) තුළ පමණක් එම වියදම ඩොලර් මිලියන 613ක් දක්වා ඉහළ ගොස් තිබේ. මීට පෙර ලංකාවේ වැඩිම වාහන ආනයන වියදමක් වාර්තා වූයේ 2015 සහ 2018 වසරවලදී වන අතර, එම වසරවලදී ද වැය වී තිබුණේ ඩොලර් බිලියන 2කට ආසන්න මුදලකි.
කෙසේ වෙතත්, මේ වන විට ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශීඝ්‍රයෙන් අවප්‍රමාණය වීම (රුපියල බිඳවැටීම) හේතුවෙන් වාහන ආනයනය කෙරෙහි රජයේ දැඩි අවධානය යොමු වී ඇත. පසුගියදා මහනුවර පැවැති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමකදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද අවධාරණය කළේ, පවතින ආර්ථික වාතාවරණය හමුවේ වාහන ආනයනය සඳහා නැවතත් සීමාවන් පැනවීමට රජයට සිදුවනු ඇති බවයි.
මේ අතර, වාහන ආනයනය පාලනය කිරීම සහ දේශීය විදේශ සංචිත ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් රජය විසින් ඊයේ (15) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෝටර් රථ ආනයන රේගු බදු මත 50% ක දැවැන්ත තාවකාලික අධිභාරයක් පැනවීමට කටයුතු කළේය. මෙම හදිසි බදු සංශෝධනය හේතුවෙන් වෙළෙඳපොළේ පවතින ජනප්‍රිය මෝටර් රථ මාදිලිවල මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, ඒ අනුව හොන්ඩා වෙසල් (Honda Vezel) රථයක මිල පමණක් රුපියල් ලක්ෂ 12 කින් (රු. 1,200,000) එකවර ඉහළ ගොස් ඇති බව වාහන ආනයනකරුවන් පවසති.














