වත්මන් රජයේ මුදල් අමාත්‍ය ධුරය භාරගන්නා ලෙස කිසියම් හෝ ආරාධනයක් ලැබුණහොත්, එය කිසිසේත්ම භාර ගැනීමට තමන් සූදානම් නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කරයි. නෙත් ගුවන් විදුලිය සමඟ පැවැත්වුණු විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ, තමන් මේ වන විට පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ (COPF) සභාපතිවරයා ලෙස ඉටුකරනු ලබන කාර්යභාරය රටේ ජනතාව ඉතා ඉහළින් පිළිගෙන ඇති බවයි. එලෙසම, ජනතාවගේ නිසි කැමැත්තකින් සහ ස්ථිර ජනවරමකින් තොරව මෙවැනි තනතුරු භාර ගැනීමට තමන්ට කිසිදු සදාචාරාත්මක හැකියාවක් නොමැති බවත්, ඒ සඳහා අනිවාර්යයෙන්ම මැතිවරණයකින් ජයග්‍රහණය කර පැහැදිලි ජන වරමක් සහිතව පැමිණිය යුතු බවත් ඔහු තරයේ කියා සිටියේය.
මීට පෙර පැවති රජය සමයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් තමන් වෙත ඉදිරිපත් කරන ලද ඇමති ධුර ආරාධනය ප්‍රතික්ෂේප කිරීමට හේතුව ද හර්ෂ ද සිල්වා මහතා මෙහිදී අනාවරණය කළේය. ඒ මහතා සඳහන් කළේ, එවකට අදාළ පාලක පාර්ශ්වයන් සමඟ එක්ව ප්‍රතිපත්තිමය වශයෙන් වැඩ කිරීමට තමන් තුළ කිසිදු සූදානමක් නොතිබූ බවයි.”මට කෙටි කාලීන ඇමති පට්ටමක් තිබුණා කියලා ඒක මට අදාළ වෙන්නේ නැහැ. මම කොයි වෙලාවෙත් හිතන්නේ රට ගැනයි” යනුවෙන් තමන්ගේ දැඩි ස්ථාවරය ප්‍රකාශ කළ මන්ත්‍රීවරයා, තමන්ගේ මෙන්ම සමගි ජන බලවේගයේ ද එකම අරමුණ වන්නේ ඉදිරි මැතිවරණයක් ජයග්‍රහණය කර ජනතාවගේ සැබෑ කැමැත්ත මත රටේ පාලන වගකීම් විධිමත්ව භාර ගැනීම බව ද වැඩිදුරටත් සඳහන් කළේය.













