ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ ජනරජය සහ උගන්ඩාව යන රටවල ඉතා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින ‘බුන්ඩිබුග්යෝ’ (Bundibugyo) වෛරසය මඟින් වැළඳෙන ඉබෝලා රෝගී තත්ත්වය, ‘ජාත්‍යන්තර අවධානයට ලක්වූ හදිසි මහජන සෞඛ්‍ය තත්ත්වයක්’ (PHEIC) ලෙස ප්‍රකාශයට පත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අධ්‍යක්ෂ ජනරාල්වරයා පියවර ගෙන තිබේ. කෙසේ වෙතත්, මෙම තත්ත්වය තවමත් ‘වසංගත හදිසි තත්ත්වයක්’ (Pandemic Emergency) දක්වා වර්ධනය වී නොමැති බව ද එම සංවිධානය සිහිපත් කරයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිල වාර්තාවලට අනුව, 2026 මැයි 16 වන දින වන විට කොංගෝවේ ඉටූරි (Ituri) ප්‍රාන්තයෙන් රසායනාගාර පරීක්ෂණ මඟින් නිල වශයෙන් තහවුරු කළ ඉබෝලා රෝගීන් 8 දෙනෙකු, සැකකටයුතු රෝගීන් 246 දෙනෙකු සහ සැකකටයුතු මරණ 80ක් වාර්තා වී ඇත. මීට අමතරව, කොංගෝවේ සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු හරහා උගන්ඩාවේ කම්පාලา (Kampala) නුවරින් ද, ඉටූරි සිට පැමිණි අයෙකු හරහා කොංගෝවේ කින්ෂාසා (Kinshasa) අගනුවරින් ද ආසාදිතයන් වාර්තා වී තිබේ. අනතුරේ බරපතලකම පෙන්වමින් මේ වන විට සෞඛ්‍ය සේවකයින් සිව්දෙනෙකු ද (04) ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මෙම වෛරසය සඳහා දැනට නිල වශයෙන් අනුමත ඖෂධ හෝ එන්නත් නොමැති වීම හේතුවෙන් තත්ත්වය අසාමාන්‍ය ලෙස බරපතල වී ඇත.
කෙසේ වෙතත්, අනවශ්‍ය බියක් ඇති කරගනිමින් කිසිදු රටක් සිය දේශසීමා සම්පූර්ණයෙන් වැසීමට හෝ වෙළෙඳ හා සංචාරක සීමා පැනවීමට කටයුතු නොකළ යුතු බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එවැනි විද්‍යාත්මක පදනමක් නැති සීමා කිරීම් මඟින් නීතිවිරෝධී දේශසීමා සංක්‍රමණ තවදුරටත් ඉහළ ගොස් රෝගය පාලනයෙන් තොරව තවත් ව්‍යාප්ත විය හැකි බව ද ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති.














