දොම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ පාලනය වන මල්වාන ප්‍රදේශයේ පිහිටි මතභේදාත්මක ඉඩම සහ නිවස වහාම ක්‍රියාත්මක වන පරිදි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) වෙත පැවරීමට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය නිල වශයෙන් එකඟතාව පළ කර තිබේ. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ (අන්තරේ) නියෝජිතයන් සහ අග්‍රාමාත්‍යවරිය අතර අද (18) පෙරවරුවේ අගමැති කාර්යාලයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණයට එළැඹ ඇත. සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සසිඳු පෙරේරා මහතා මේ බව තහවුරු කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කැඳවුම්කරු කියා සිටියේ, අදාළ දේපළ ශිෂ්‍ය ප්‍රජාවගේ සහ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රයෝජනය සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත පැවරීමට රජය පැත්තෙන් කඩිනම් සහ සාධනීය ප්‍රතිචාරයක් ලැබුණු බවයි. අග්‍රාමාත්‍යවරිය ලබාදුන් එම නිල පොරොන්දුව සහ එකඟතාව මත පදනම්ව, මල්වාන නිවාස පරිශ්‍රය තුළ රැඳී සිටිමින් අන්තරේ ශිෂ්‍ය ව්‍යාපාරය දියත් කර තිබූ විරෝධතා සහ අත්පත් කරගැනීමේ ක්‍රියාවලිය අවසන් කර, මේ මොහොතේ සිටම එම පරිශ්‍රයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වීමට තමන් ඇතුළු පිරිස කටයුතු කරන බව ද ඔහු සඳහන් කළේය. මෙම එකඟතාවත් සමඟ මල්වාන දේපළ සම්බන්ධයෙන් පසුගිය දින කිහිපය පුරා පැවැති නොසන්සුන්කාරී දේශපාලන වටපිටාව සමනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














