මොනරාගල දිස්ත්‍රික්කයේ “දිට්වා” ආපදා වන්දි ගෙවීමේ ක්‍රියාවලිය තුළ සිදුව ඇති බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් සහ අල්ලස් ලබාගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් මොනරාගල දිස්ත්‍රික් ලේකම් ඒ.ජී. නිශාන්ත මහතා අද (18) මාධ්‍ය වෙත විශේෂ කරුණු පැහැදිලි කිරීමක් සිදු කළේය. දිස්ත්‍රික් ලේකම්වරයා පෙන්වා දුන්නේ, “දිට්වා” ආපදාවෙන් දිස්ත්‍රික්කයේ පවුල් 1,605කට අයත් පුද්ගලයන් 5,435 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි. එහිදී පූර්ණ හානියට පත් නිවාස 79ක් සහ අර්ධ හානි නිවාස 559ක් වෙනුවෙන් රජයේ නීතිමය චක්‍රලේඛවලට අනුව රුපියල් 25,000 සහ 50,000 දීමනා, පාසල් පොත්පත් දීමනා, නිවාස කුලී දීමනා සහ මරණ වන්දි නිසි පරිදි ගෙවීමට පියවර ගෙන තිබූ බව ද ඔහු ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත්, මෙම වන්දි ලබාදීමේදී සිදුවූ දූෂණයක් පිළිබඳව ඉකුත් අප්‍රේල් 20 වනදා පළමු වරට තොරතුරු වාර්තා වී තිබේ. එහිදී ආපදාවට පත් කාන්තාවකගෙන් වන්දි ලබාදීම සඳහා එක්තරා නිලධාරියෙකු විසින් රුපියල් ලක්ෂයක (100,000) අල්ලස් මුදලක් ලබාගෙන ඇති බවට එම කාන්තාව විසින් පැමිණිලි කර ඇත. ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරියකගේ මඟපෙන්වීම මත අදාළ වින්දිත කාන්තාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත පැමිණ නිල ප්‍රකාශයක් ලබාදී තිබේ. සිද්ධියේ බරපතළකම සැලකිල්ලට ගෙන වහාම ක්‍රියාත්මක වූ දිස්ත්‍රික් ලේකම්වරයා, අදාළ දූෂිත ආපදා සහන නිලධාරියාට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස දන්වමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සහ අදාළ අමාත්‍යාංශය වෙත වහාම ලිඛිතව දැනුම් දී ඇත. ඒ අනුව ඉතා කෙටි කාලයක් තුළ එම සහන නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට (Suspended) පියවර ගෙන තිබේ. මීට අමතරව, මෙම සිද්ධියට වක්‍රව සම්බන්ධ බවට චෝදනා එල්ල වූ මදුරකැටිය වසමේ ග්‍රාම නිලධාරීවරයාට එරෙහිව ද විමර්ශන ආරම්භ කර ඇති අතර, පරීක්ෂණ කටයුතුවලට බාධා නොවන අයුරින් ඔහුව වහාම ක්‍රියාත්මක වන පරිදි අදාළ කොට්ඨාසයෙන් පිටතට මාරු කර යවා ඇත. මෙම සිද්ධියෙන් පසු දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය නිලධාරීන්ට තම වගකීම් සහ රාජකාරි සහතිකයන් අවංකව ඉටුකරන ලෙසට දැඩි නියෝග නිකුත් කර ඇති බව ද දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් අවධාරණය කළේය.














