වෙනත් ආයතනයක උකස් කර තිබූ රන් භාණ්ඩ බේරාගැනීම සඳහා පානදුර ප්‍රදේශයේ ප්‍රමුඛ මූල්‍ය ආයතනයකින් රුපියල් දෙකෝටි පනස් තුන් ලක්ෂ පනස් හත්දහසක (25,357,000) දැවැන්ත ණය මුදලක් ලබාගෙන, එම මුදලින් බේරාගත් රන් භාණ්ඩ ද රැගෙන සූක්ෂම ලෙස පලාගිය 39 හැවිරිදි විවාහක කාන්තාවක් ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පානදුර මහේස්ත්‍රාත් අධිකරණය අද (18) නියෝග කළේය. පානදුර විශේෂ අපරාධ විමර්ශන ඒකකය (SCIB) මඟින් අත්අඩංගුවට ගත් මෙම සැකකාරිය මෝදර ප්‍රදේශයේ තට්ටු නිවාස සංකීර්ණයක පදිංචිකාරිනියකි. ඇයව ප්‍රශ්න කිරීමෙන් අනතුරුව, නිවස අසල පොළොවේ වළදමා සඟවා තිබූ රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් රන් බඩු තොගයක් ද සොයා ගැනීමට පොලිසිය සමත්ව ඇත.
අදාළ මූල්‍ය ආයතනය කළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනවලදී හෙළි වී ඇත්තේ, ඉකුත් මැයි 09 වැනිදා සැකකාරිය මෙම වංචාව සැලසුම් කර ඇති බවයි. තමන් ණය මුදලින් රන් බඩු බේරාගත් පසු ඒවා මෙම ආයතනයටම නැවත උකස් තබන බවට දුන් පොරොන්දුව මත මූල්‍ය ආයතන නිලධාරීන් දෙදෙනෙකු ද සමඟ ඇය රන් බඩු උකස් කර තිබූ අනෙක් ආයතනය වෙත ගොස් තිබේ. එහිදී මුදල් ගෙවා රන් භාණ්ඩ අතට ගත් සැකකාරිය, නිලධාරීන්ගේ ඇස් වසා ක්ෂණිකව එම ස්ථානයෙන් පලා ගොස් තිබුණි. පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් ද සිල්වා සහ සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ සෘජු උපදෙස් මත, පානදුර විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න විජය ගුණවර්ධන ඇතුළු නිලධාරී කණ්ඩායමක් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන මෙහෙයවති.














