වත්මන් 2026 වර්ෂයේ පළමු මාස හයක කාලය තුළ ජල ගාස්තු කිසිදු සංශෝධනයකින් තොරව දැනට පවතින මිල ගණන් යටතේම පවත්වාගෙන යාම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අනුව මෙම තීරණය ගෙන ඇත.
පවතින ජල ගාස්තු සූත්‍රයට අනුව ප්‍රධාන පිරිවැය සාධක සැලකිල්ලට ගනිමින් සෑම අර්ධ වාර්ෂිකයකදීම ජල ඒකකයක පිරිවැය සමාලෝචනය කළ යුතු වුවද, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ මූල්‍ය ප්‍රකාශන විශ්ලේෂණය කිරීමේදී වත්මන් ගාස්තු මඟින්ම සමස්ත මෙහෙයුම් වියදම් පියවා ගැනීමට හැකි බව තහවුරු වී තිබේ. ඒ අනුව ජනතාවට අමතර බරක් නොතබමින්, වසරේ පළමු භාගය තුළ ජල ගාස්තු ඉහළ නැංවීමකින් තොරව ස්ථාවරව පවත්වාගෙන යාමට පාලනාධිකාරිය තීරණය කර ඇත.














