යුදමය වාතාවරණය පැවති වකවානුවේදී ත්‍රස්ත ක්‍රියා සහ ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් හේතුවෙන් මියගිය හෝ ආබාධිත තත්ත්වයට පත් වූ ශ්‍රී ලංකා පොලීසියේ (විශේෂ කාර්ය බලකාය ද ඇතුළත්ව) සහ ත්‍රිවිධ හමුදාවේ නිලධාරින් නිශ්චිතව හඳුනාගෙන ඔවුන්ට සහන සැලසීමේ කටයුතු කඩිනමින් අවසන් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
රණවිරු සහන සැලසීම පිණිස මේ දක්වා වරින්වර නිකුත් කරනු ලැබ ඇති විවිධ චක්‍රලේඛ සියල්ල වෙනුවට, ක්‍රියාවලිය සරල කරමින් එක් පොදු චක්‍රලේඛයක් නිකුත් කිරීමට රජය තීරණය කර ඇත. ඒ සඳහා ගත යුතු පියවරයන් සහ නිර්දේශ ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා 2025 ජුලි 14 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී නිලධාරී කමිටුවක් පත් කර තිබූ අතර, එම කමිටුව විසින් සිය නිරීක්ෂණ ඇතුළත් සවිස්තරාත්මක වාර්තාව පසුගිය මැයි 12 වැනිදා රජයට ඉදිරිපත් කර තිබුණි.
මේ දක්වා හඳුනාගනු ලැබ ඇති සහ සහන ලබන කිසිදු පාර්ශ්වයකට ගෙවනු ලබන දීමනා සඳහා මෙමඟින් කිසිදු අගතියක් හෝ කප්පාදුවක් සිදු නොවන බව රජය අවධාරණය කරයි. ඒ වෙනුවට සිදු කෙරෙන්නේ, අදාළ කමිටු නිර්දේශ මත පදනම්ව ත්‍රිවිධ හමුදාවට, ශ්‍රී ලංකා පොලීසියට සහ විශේෂ කාර්ය බලකායට (STF) අදාළව අලුතින් හඳුනා ගත් පාර්ශ්වයන් වෙත ද කඩිනමින් සහන හිමි ගැන්වීම සඳහා නව පොදු චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීමයි.
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් මෙලෙස අනුමැතිය ලබා දී ඇත.












