බදුරළිය, පැළෑඳ, මල්බෙරිය ප්‍රදේශයේ නිවෙසක් තුළදී අභිරහස් ලෙස මියගිය වයෝවෘද්ධ පුද්ගලයෙකුගේ සිරුරක්, එම නිවෙස පිටුපස කාණුවක දමා පස්වලින් වසා තිබියදී ඊයේ (18) සොයාගත් බව බදුරළිය පොලිසිය පවසයි. මෙලෙස අභිරහස් ලෙස මියගොස් ඇත්තේ කුරුඳුකාරගේ දොන් සුගතදාස නමැති 82 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි.
මෙම සැකකටයුතු මරණය සහ සිරුර සැඟවීම සම්බන්ධයෙන් මියගිය අයගේ බාල සහෝදරිය වන 78 හැවිරිදි කාන්තාවක් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසියට ලැබුණු නිර්නාමික දුරකථන ඇමතුමක් මත වහාම ක්‍රියාත්මක වූ නිලධාරීන් කණ්ඩායමක් අදාළ නිවෙස සහ ගෙවත්ත පරීක්ෂා කිරීමේදී මෙම මළසිරුර සොයාගෙන ඇත.
අවිවාහක සහෝදරයා සහ සහෝදරියක ලෙස වියපත් වූ මොවුන් දෙදෙනා කලක පටන් මෙම නිවසේ එකට ජීවත්ව ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ. පොලිසිය විසින් සිදු කරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති වඩාත්ම සුවිශේෂී කරුණ වන්නේ මොවුන් දෙදෙනාටම මෙතෙක් ජාතික හැඳුනුම්පතක් (NIC) තිබී නොමැති අතර, ඔවුන් කිසිදිනක ඡන්දහිමි නාමලේඛනයේ පවා ලියාපදිංචි වී නොමැති පුද්ගලයන් වීමයි.
සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, බදුරළිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී. පී. වැදිසිංහ මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නිලංග ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරති.















