මෙතෙක් කාලයක් ශ්‍රී ලංකාවේ ප්‍රධාන අවධානය යොමු වූයේ ලාංකිකයන් විදේශ රැකියා සඳහා යොමු කිරීම කළමනාකරණය කිරීමට වුවද, වත්මන් ආර්ථිකයේ ඇතැම් අංශ සඳහා නිපුණතා සහිත, අර්ධ නිපුණතා සහිත සහ විශේෂඥ කුසලතා සහිත විදේශීය ශ්‍රමිකයන් බඳවාගැනීමේ අවශ්‍යතාවක් උදාවී තිබේ.
දැනට මෙරටට පැමිණෙන ආගාමික ශ්‍රමිකයන්ගේ සංක්‍රමණ කටයුතු ආයතන කිහිපයක් හරහා සංකීර්ණ බහුවිධ පරිපාලන ක්‍රියාපටිපාටි යටතේ සිදුවන බැවින්, එම තොරතුරු මධ්‍යගත තොරතුරු පද්ධතියකට ඇතුළත් කරමින් විධිමත් නියාමනයක් සිදු කිරීමේ අවශ්‍යතාව රජය හඳුනාගෙන ඇත.
ඒ අනුව, රැකියා අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය ශ්‍රමිකයන් ඇතුළත් කර ගැනීම, සේවයේ යෙදවීම, අධීක්ෂණය කිරීම, ආරක්ෂා කිරීම සහ නියාමනය කිරීම සඳහා සම්බන්ධීකරණය වූ සහ විනිවිදභාවයකින් යුත් විධිමත් ජාතික රාමුවක් මෙම නව ප්‍රතිපත්තිය මඟින් ස්ථාපිත කෙරෙනු ඇත. මෙමඟින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට හිමි රැකියා අවස්ථා ආරක්ෂා කිරීම ද සහතික කෙරේ.
මෙම ආගාමික ශ්‍රම සංක්‍රමණ ප්‍රතිපත්තිය හඳුන්වා දීමටත්, ඊට අදාළ ප්‍රතිපත්ති කෙටුම්පත සකස් කිරීම පිණිස කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුත් විශේෂ මෙහෙයුම් කමිටුවක් පත් කිරීමටත් කම්කරු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.












