පොහොර සහ නිෂ්පාදන මිල අධික ලෙස ඉහළ යාම හමුවේ වත්මන් රජයට ගොවියන් වෙනුවෙන් ස්ථාවර මිලක් ලබා දීමට නොහැකි වී ඇතැයි නුවරඑළිය ගොවි සංවිධානයේ සභාපති තරිඳු රත්නායක මහතා චෝදනා කරයි. මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා අවධාරණය කළේ එදා ගොවියන් සමඟ පාරට බැස උද්ඝෝෂණය කළ නායකයන් බලයට පත්වීමෙන් පසු ගොවි ජනතාව මුළුමනින්ම අමතක කර ඇති බවයි.
අද වන විට පොහොර මිටියක් රුපියල් 19,000ක් සහ අල හොණ්ඩරයක් රුපියල් 39,000ක් දක්වා නිෂ්පාදන පිරිවැය ඉහළ ගොස් තිබේ. එදා ගොවියන් වෙනුවෙන් වීථි සටන් කළ කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත සහ නියෝජ්‍ය කෘෂිකර්ම අමාත්‍ය නාමල් කරුණාරත්න යන මහත්වරුන් අද වන විට ගොවි ප්‍රශ්න පිළිබඳව කතා කිරීමට සාකච්ඡාවකටවත් පැමිණෙන්නේ නැත.
එමෙන්ම, ගොවි ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට ගිය නුවරඑළියේ මංජුල සහ මධුර යන මහත්වරුන් ද ගොවි ප්‍රශ්න මඟහරිමින් සිටින අතර, ඔවුන්ට ඉදිරියේදී නියම වේලාවට නිසි පිළිතුරු ලබා දීමට ගොවි සංවිධාන සූදානම්ය. එදා බලය ලබා ගැනීම වෙනුවෙන් ගොවියා ඉත්තෙකු කර ගත්ත ද, බලය ලැබුණු පසු ඔවුන්ට තමන්ගේම ගැටලුවලට සාකච්ඡාවක් ලබා දීමට පවා අමාත්‍යවරුන් අපොහොසත් වී ඇතැයි ද සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.












