අධිකරණය මඟින් තමන්ට පැනවා ඇති විදෙස් ගමන් තහනම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් චීන රජයේ අනුග්‍රහයෙන් සංවිධානය කර තිබූ ආර්ථික වැඩසටහනකට සහභාගි වීමට නොහැකි වූ බව පවසමින් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අද (20) පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීමට උත්සාහ කිරීමත් සමඟ සභාව තුළ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තේය.
තමන්ගේ ගමන් බලපත්‍රය (Passport) මේ වන විට අධිකරණ භාරයේ පවතින බවත්, පාර්ලිමේන්තු මහලේකම්වරයාගේ ලිපියක් සහ චීන රජයේ නිල ආරාධනා පත්‍රය ඉදිරිපත් කරමින් අධිකරණයට මෝසමක් යොමු කළ ද, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (Bribery Commission) දිගින් දිගටම ඉදිරිපත් කළ විරෝධතා හේතුවෙන් තමන්ට මෙම සංචාරයට එක්වීමට නොහැකි වූ බව මන්ත්‍රීවරයා සභාවට පැවසීය.
මෙහිදී වහාම මැදිහත් වූ කථානායක ජගත් වික්‍රමරත්න මහතා අවධාරණය කළේ, අධිකරණයක් හමුවේ පවතින නඩු කටයුත්තක් (Sub judice) පිළිබඳව පාර්ලිමේන්තුව තුළ විවාද කිරීමට හෝ සාකච්ඡා කිරීමට ස්ථාවර නියෝග අනුව අවස්ථාවක් නොමැති බවයි. “අධිකරණය නියෝගයක් දීලා තියෙනවා. අධිකරණයේ තීන්දුවක් හෝ නඩුවක් ගැන අපිට පාර්ලිමේන්තුවේ කතා කරන්න බෑ” යැයි කථානායකවරයා මන්ත්‍රීවරයාට පෙන්වා දුන්නේය.
සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා ද මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ මෙය මන්ත්‍රීවරයෙකුගේ වරප්‍රසාද ප්‍රශ්නයක් නොවන බවත්, පූර්ණ වශයෙන්ම අධිකරණමය ගැටලුවක් බවත්ය. “අපි ඔබට මේ ගැන කතා කරන්න අවස්ථාවක් දුන්නා. නමුත් ඔබ දැන් කියන දේවල් පාර්ලිමේන්තු රෙගුලාසිවලට පටහැනියි. අනෙක් අයගේ දේශපාලන න්‍යාය පත්‍රවලට ගොදුරු වෙන්න එපා කියලා මම ඉල්ලා සිටිනවා. ඔබ මේ නඩුවේ විත්තිකරුවෙක්, අධිකරණ නියෝගයක් තියෙනවා, ඒ නිසා ඒ ගැන සභාවේ කතා කරන්න බෑ” යැයි අමාත්‍යවරයා පැවසීය. මෙම ප්‍රකාශත් සමඟ මන්ත්‍රී චාමර සම්පත් මහතා, කථානායකවරයා, සභානායකවරයා සහ ආණ්ඩු පක්ෂ – විපක්ෂ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු අතර සභා ගර්භය තුළ දැඩි වාද විවාද සහ උණුසුම් වචන හුවමාරුවක් සිදු විය.














