මෙරට වන අලි කළමනාකරණ කටයුතු සහ වනජීවී ක්ෂේත්‍ර රාජකාරි වඩාත් කාර්යක්ෂම කිරීම වෙනුවෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අලුතින් යතුරුපැදි 181ක් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. දිවයින පුරා පිහිටි අඩවි ආරක්ෂක කාර්යාල සහ බීට්ටු කාර්යාලවල නිලධාරීන්ගේ ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් මෙම පියවර ගෙන ඇත.
වනජීවී දෙපාර්තමේන්තුවේ වාහන අවශ්‍යතා වෙනුවෙන් ඉකුත් 2025 අගෝස්තු මාසයේදී මූලික කැබිනට් අනුමැතිය හිමිව තිබූ අතර, ඊට සමගාමීව ද්විත්ව කැබ් රථ 16ක්, තනි කැබ් රථ 84ක් සහ ට්‍රැක්ටර් 09ක් මිලදී ගැනීමේ ප්‍රසම්පාදනයන් සඳහා ඉකුත් මැයි 04 වනදා අනුමැතිය හිමිවිය. එහිම තවත් අදියරක් ලෙස මෙම යතුරුපැදි 181 මිලදී ගැනීම සඳහා ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ ලංසු කැඳවා තිබූ අතර, ඒ සඳහා සමාගම් 04ක් ඉදිරිපත් වී තිබිණි.
ඉදිරිපත් වූ ලංසු ඇගයීමට ලක්කිරීමෙන් අනතුරුව, අවම මිල ගණන් යටතේ උපරිම ප්‍රතිචාර දක්වා තිබූ ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම (David Pieris Motor Company) වෙත බදු රහිතව රුපියල් මිලියන 91.26ක මුදලකට මෙම යතුරුපැදි ප්‍රසම්පාදනය පිරිනැමීමට තීරණය කර ඇත. ඒ අනුව පරිසර අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද අදාළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ නිල අනුමැතිය හිමිව තිබේ. මෙමඟින් වන අලි ගම්වැදීම් වැළැක්වීමේ කටයුතුවල නිරත වන වනජීවී නිලධාරීන්ගේ ක්ෂේත්‍ර රාජකාරි කටයුතු තවදුරටත් කඩිනම් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














