ලොව ප්‍රමුඛතම ගුවන් සේවාවක් වන කටාර් එයාර්වේස් (Qatar Airways Group) සමාගම 2025/26 මූල්‍ය වර්ෂය සඳහා කටාර් රියාල් බිලියන 7.08ක, එනම් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.94ක ඉහළ ශුද්ධ ලාභයක් උපයා ඇති බව අද (20) නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. ගෝලීය සංචාරක ක්ෂේත්‍රයේ පවතින දැඩි තරගකාරිත්වය සහ මැදපෙරදිග කලාපීය නොසන්සුන්තා මධ්‍යයේ වුවද සමාගම මෙම විශිෂ්ට මූල්‍ය ප්‍රගතිය අත්කරගෙන තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව, මෙම මූල්‍ය කාලසීමාව තුළදී කටාර් ගුවන් සේවය මඟින් ප්‍රවාහනය කර ඇති සමස්ත මගීන් සංඛ්‍යාව මිලියන 41.8ක් තරම් ඉහළ අගයක් ගනී. පශ්චාත් කොරෝනා වසංගත සමයෙන් පසුව ගෝලීය සංචාරක ඉල්ලුම සීඝ්‍රයෙන් වර්ධනය වීම සහ කටාර් ගුවන් සේවය සතු පුළුල් ජාත්‍යන්තර ගුවන් ගමන් ජාලය මෙලෙස බිලියන ගණනින් ලාභ ලැබීමට ප්‍රධානතම හේතුව වී ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.














