මෙරට ලුහු ඉංජිනේරු නිෂ්පාදන කර්මාන්තයේ (Light Engineering Industry) අපනයන තරඟකාරිත්වය ගෝලීය වෙළෙඳපොළ තුළ ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) කාර්මික නිෂ්පාදන අංශය මඟින් සංවිධානය කරන ලද සුවිශේෂී ධාරිතා වර්ධන හා දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා කොළඹ පිහිටි EDB මූලස්ථාන පරිශ්‍රයේදී ආරම්භ විය. මෙම වැඩසටහන වාත්තු කර්මාන්ත හා සේවා ආයතනය (FDSI) සහ රජයේ කර්මාන්ත ශාලා දෙපාර්තමේන්තුව සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබයි.
ගෝලීය නිෂ්පාදන ක්ෂේත්‍රයේ නව ප්‍රවණතාවලට මුහුණ දීම සඳහා ප්‍රායෝගික හා තාක්ෂණික පුහුණුවක් ලබාදෙන ලෙස ක්ෂේත්‍රයේ වත්මන් සහ විභව අපනයනකරුවන් කළ ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින් මෙම පාඨමාලාව සැලසුම් කර ඇත. මෙම පුහුණු වැඩසටහන ප්‍රධාන අංශ 2ක් යටතේ සුවිශේෂී ක්ෂේත්‍ර 19ක් ආවරණය කරනු ලබයි. එහි පළමු අදියර වන ‘අපනයන සහ ව්‍යාපාරික අංශය’ යටතේ ගෝලීය වෙළඳපල අවස්ථා, උපායමාර්ගික වාත්තු තාක්ෂණය සහ නිෂ්පාදන සංවර්ධනය සඳහා ‘සිමියුලේෂන්’ (Simulation) වැනි නවීන මෘදුකාංග භාවිතය පිළිබඳව අවධානය යොමු කෙරෙන අතර බලශක්ති කාර්යක්ෂමතාව, ජාත්‍යන්තර පරීක්ෂණ ප්‍රමිතීන් සහ හරිත නිෂ්පාදන භාවිතයන් පිළිබඳව ද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරේ.
වැඩසටහනේ දෙවන අදියර වන ‘තාක්ෂණික අංශය’ රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව සහ FDSI පරිශ්‍රයන්හිදී පවත්වන අතර, එහිදී අච්චු සකස් කිරීමේ තාක්ෂණය (Pattern-making), ලෝහ උණු කිරීම සහ වාත්තු කිරීමේ ක්‍රියාවලීන් මෙන්ම නිෂ්පාදන දෝෂ හඳුනාගෙන පිළිසකර කිරීම පිළිබඳව ප්‍රායෝගික පුහුණුව ලබාදීමට නියමිතය. නූතන ලෝකයේ යුරෝපීය සහ ආසියානු වෙළඳපලවල් වෙත ප්‍රවේශ වීමේදී පරිසර හිතකාමී නිෂ්පාදන ක්‍රියාවලීන් සහ පරිසර දූෂණ පාලනය අත්‍යවශ්‍ය සාධක වන බැවින්, පරිසර තිරසාරත්වය සහ ගුණාත්මක තත්ත්ව සහතිකකරණය (Quality Assurance) පිළිබඳ සැසි මීට ඇතුළත් කර තිබීම විශේෂත්වයකි.














