‘දිට්වා’ සුළිකුණාටු (Cyclone Ditva) තත්ත්වය හේතුවෙන් හානියට පත් ව්‍යාපාරික ස්ථාන සහ නිවාස වෙනුවෙන් රුපියල් දෙකෝටි අසූ ලක්ෂයකට (මිලියන 28කට) ආසන්න වන්දි මුදල් ප්‍රදානය කිරීමේ විශේෂ වැඩසටහනක් මහවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සාර්ථකව පවත්වා තිබේ. මහවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ව්‍යසනයෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවනෝපාය සහ හිසට සෙවණ නැවත සකස් කරදීම මෙහි මූලික අරමුණ විය.
මෙහිදී සුළිකුණාටුව නිසා සම්පූර්ණයෙන් සහ අර්ධ වශයෙන් විනාශයට පත් වූ දේශීය ව්‍යාපාර නැවත නඟාසිටුවීම වෙනුවෙන් රුපියල් දෙකෝටි අට ලක්ෂයක (රු. 20,800,000) දැවැන්ත වන්දි මුදලක් ව්‍යාපාරිකයින් වෙත බෙදා දෙන ලදී. මීට අමතරව, ආපදාවෙන් හානියට පත් නිවාස ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් හැත්තෑ ලක්ෂ පනස් දහසකට (රු. 7,050,000) අධික මූල්‍ය ආධාර ප්‍රදානය කිරීමට ද කටයුතු යොදා තිබිණි.
මෙම වන්දි ප්‍රදානෝත්සවය පාර්ලිමේන්තු මන්ත්‍රී ගයාන් ජානක, මහවැව ප්‍රාදේශීය ලේකම් සුහර්ශනී බණ්ඩාර සහ නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ සභාපති සාගර විජේසේකර යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් සහ ව්‍යසනයට පත් ප්‍රදේශවාසීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සැලසීමට රජය ගෙන ඇති මෙම පියවර ප්‍රදේශවාසීන්ගේ ඇගයීමට ලක්ව ඇත.














