කැලණිවැලි දුම්රිය මාර්ගයේ කොටා පාර දුම්රිය හරස් මාර්ගයේ සිදු කෙරෙන අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුත්තක් හේතුවෙන් ලබන 23 සහ 24 යන දෙදින තුළ කොටා පාර දුම්රිය හරස් මාර්ගය වාහන ගමනාගමනය සඳහා සම්පූර්ණයෙන්ම වසා තැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව ලබන 23 වැනිදා උදෑසන 09.30 සිට 24 වැනිදා උදෑසන 07.30 දක්වා අදාළ හරස් මාර්ගය වසා තැබෙන අතර එම කාලසීමාව තුළ දුම්රිය ධාවනය ද සීමා කිරීමට පියවර ගෙන තිබේ. මේ හේතුවෙන් එම කාල සීමාවේදී කැලණිවැලි මාර්ගයේ කොළඹ කොටුව සහ නාරාහේන්පිට දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනය සිදු නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
කෙසේ වෙතත්, මන්දගාමී දුම්රිය තුනක් 23 වැනිදා සවස නාරාහේන්පිට දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කර අවිස්සාවේල්ල දක්වා ධාවනය කිරීමටත්, 24 වැනිදා උදෑසන මන්දගාමී දුම්රිය තුනක් අවිස්සාවේල්ල දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කර කොළඹ කොටුව දක්වා ධාවනය කිරීමටත් කටයුතු යොදා ඇත.














