ඊශ්‍රායල පාර්ලිමේන්තුව (Knesset) විසුරුවා හැරීම සඳහා වන මූලික පනත් කෙටුම්පතක් එරට මන්ත්‍රීවරුන් විසින් අද (20) ඒකමතිකව සම්මත කර තිබේ. ඒ අනුව එළඹෙන ඔක්තෝබර් 27 වැනිදාට පෙර එරට හදිසි මහා මැතිවරණයක් (Snap Election) පැවැත්වීමේ මූලික පියවර තබා ඇත. මෙම පනත ඉදිරි සති කිහිපය තුළ අවසන් වරටත් සම්මත වුවහොත් නියමිත දිනට සති කිහිපයකට පෙර මැතිවරණය පැවැත්වෙනු ඇත.
2023 වසරේ සිදුවූ හමාස් ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායලයේ පැවැත්වෙන පළමු ජාතික මැතිවරණය මෙය වන අතර, වත්මන් මත විමසුම්වලට අනුව අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු (Benjamin Netanyahu) හට මෙවර බලය අහිමි වීමේ ඉහළ අවදානමක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අග්‍රාමාත්‍ය නෙදන්යාහුට පක්ෂපාතීව සිටි අන්ත ඕතඩොක්ස් (Ultra-Orthodox) දේශපාලන කණ්ඩායම්, තම ප්‍රජාවට අනිවාර්ය මිලිටරි සේවයෙන් නිදහස් කිරීමේ පොරොන්දුව ඉටු කිරීමට අගමැතිවරයා අපොහොසත් වූ බවට චෝදනා කරමින් නෙදන්යාහුගේ සන්ධානය හරහාම මෙම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ පනත ඉදිරිපත් කර තිබීම විශේෂත්වයකි.














