ඉරාන යුද ගැටුම් හේතුවෙන් තුර්කියේ ගිනිකොනදිග කලාපයේ ගුවන් ආරක්ෂාව ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස, ජර්මනිය විසින් ‘පැට්‍රියට්’ මිසයිල ආරක්ෂක පද්ධතියක් එරටට යොදවන බව තුර්කිය අද (20) නිවේදනය කළේය.
ජූනි මාසයේ සිට මාස හයක කාලයක් සඳහා මෙම පද්ධතිය ස්ථාපිත කිරීමට නියමිත අතර, එය නේටෝ (NATO) සංවිධානයේ ආරක්ෂක පියවරවල කොටසකි. දැනට තුර්කියේ ස්ථාපිත කර ඇති ස්පාඤ්ඤ ‘පැට්‍රියට්’ පද්ධතියට අමතරව, අමෙරිකාව, ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින ගැටුම් හේතුවෙන් අමෙරිකාව විසින් යොදවා තිබූ පද්ධතියක් වෙනුවට මෙම ජර්මානු පද්ධතිය ස්ථානගත කෙරේ. ඉරානය දියත් කළ බැලස්ටික් මිසයිල හතරක් මීට පෙර නේටෝ ආරක්ෂක පද්ධති මඟින් අහසේදී විනාශ කිරීමට සමත් විය. තුර්කිය සිය ආරක්ෂක කර්මාන්තය දියුණු කිරීමට පියවර ගත්තද, තවමත් පුළුල් ගුවන් ආරක්ෂක පද්ධති නොමැති වීම හේතුවෙන් මෙලෙස නේටෝ මිත්‍ර රටවල සහාය ලබා ගනී.














