ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් තුනෙන් එකකට (1/3) අධි රුධිර පීඩනය (High Blood Pressure) පවතින බවත්, මෙරට සිදුවන සමස්ත මරණවලින් සියයට 75කටම ප්‍රධානතම හේතුව මෙම තත්ත්වය බවත් සෞඛ්‍ය අංශ අවධාරණය කර සිටී. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ (Health Promotion Bureau) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී වෛද්‍ය විශේෂඥයන් විසින් මෙම මාරක සෞඛ්‍ය අවදානම පිළිබඳව කරුණු අනාවරණය කරන ලදී.
ලෝක අධි රුධිර පීඩන දිනය නිමිත්තෙන් පැවැත්වුණු මෙම මාධ්‍ය හමුවේදී වෛද්‍යවරුන් පෙන්වා දුන්නේ, නිහඬ මාරයෙකු ලෙස සැලකෙන අධි රුධිර පීඩනය වර්තමානයේදී මෙරට ජනතාව මුහුණ දෙන ප්‍රධානතම බෝ නොවන රෝගයක් (NCD) වී ඇති බවයි. වැරදි ආහාර රටා, මානසික ආතතිය සහ ක්‍රියාශීලී නොවන ජීවන රටාව මීට ප්‍රධාන වශයෙන් බලපාන බවත්, නිසි පරිදි රුධිර පීඩනය පරීක්ෂා කර ප්‍රතිකාර ලබා නොගැනීමෙන් හෘදයාබාධ සහ අංශභාගය වැනි මාරක තත්ත්වයන් ඇති විය හැකි බවත් එහිදී අවධාරණය කෙරිණි.
මීට අමතරව, මෙරට තැලසීමියා (Thalassemia) රෝගයේ වත්මන් ව්‍යාප්තිය සහ එම රෝගී තත්ත්වයන් පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අංශ විසින් ගෙන ඇති නවතම ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙම මාධ්‍ය හමුවේදී දීර්ඝ වශයෙන් අදහස් ප්‍රකාශ කෙරුණා. සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් පවත්වා ගනිමින් කලින් කලට වෛද්‍ය පරීක්ෂණ වෙත යොමුවීම මෙවැනි දරුණු රෝගාබාධවලින් වැළකීමට ඇති එකම මඟ බව සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටී.














