හංගේරියාවේ අග්‍රාමාත්‍යවරයෙකුට ධුරය දැරිය හැකි උපරිම කාලය වසර අටක් (08) දක්වා සීමා කිරීම සඳහා එරට පාලක ‘තිස්සා’ (Tisza) පක්ෂය විසින් ඊයේ (20) බදාදා ප්‍රකාශයට පත් කළ විශේෂ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර තිබේ. මෙම නව ව්‍යවස්ථා සංශෝධනය මඟින් හිටපු අග්‍රාමාත්‍ය වික්ටර් ඕර්බන් (Viktor Orban) හට නැවත කිසිදු දිනෙක එරට අගමැති ධුරය හෙබවීම මුළුමනින්ම තහනම් වන බව රොයිටර්ස් (Reuters) පුවත් සේවය වාර්තා කරයි.
වසර 16ක අඛණ්ඩ පාලනයකින් පසු පසුගිය අප්‍රේල් මාසයේ පැවැති මැතිවරණයෙන් ජාතිකවාදී නායක වික්ටර් ඕර්බන් පරාජයට පත් කරමින් බලයට පත් වූ වත්මන් අග්‍රාමාත්‍ය පීටර් මාග්යාරා (Peter Magyar) මහතා ප්‍රකාශ කර ඇත්තේ, හංගේරියාවේ ප්‍රජාතන්ත්‍රවාදී තුලනය සහ පාලනය (Democratic checks and balances) නැවත ස්ථාපිත කිරීම සිය මූලික අරමුණ බවයි. ඒ වෙනුවෙන් ඕර්බන්ගේ ‘ෆිඩෙස්’ (Fidesz) පක්ෂය විසින් මීට පෙර සම්මත කරගෙන තිබූ ව්‍යවස්ථාව ඇතුළු නීති පද්ධතීන් වෙනස් කිරීම සඳහා තමන් සතු පාර්ලිමේන්තු තුනෙන් දෙකක බහුතර බලය (Super majority) උපරිමයෙන් භාවිත කරන බව ද අගමැතිවරයා අවධාරණය කර සිටී.
පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියේ පළ කර ඇති ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට අනුව, 1990 මැයි 2 වැනිදායින් පසුව මේ දක්වා අවම වශයෙන් වසර අටක් අගමැති ධුරය දරා ඇති කිසිදු පුද්ගලයෙකුට නැවත වරක් අග්‍රාමාත්‍ය ධුරය සඳහා තරඟ කිරීමට හෝ තේරී පත්වීමට අවස්ථාවක් හිමි නොවේ. එමෙන්ම ඕනෑම අගමැතිවරයෙකු වසර අටක (එනම් නිල කාල සීමාවන් දෙකක) සමස්ත සේවා කාලය සම්පූර්ණ කිරීමෙන් පසු අනිවාර්යයෙන්ම ධුරයෙන් ඉවත් විය යුතු බව ද එහි සඳහන් වේ. මීට අමතරව, නිදහස් මාධ්‍ය වෙත දැඩි තර්ජනයක් එල්ල කරමින් සහ රටේ ස්වෛරීභාවය සෙවීමේ මුවාවෙන් සිවිල් ක්‍රියාකාරකම් විමර්ශනය කිරීම සඳහා 2023 වසරේදී වික්ටර් ඕර්බන් විසින් පිහිටුවන ලද මතභේදාත්මක ‘ස්වෛරීභාවය ආරක්ෂක කාර්යාලය’ (Sovereignty Protection Office) විසුරුවා හැරීමට ද මෙම නව සංශෝධනය මඟින් මඟ පාදා තිබේ.














