රණවිරු සැමරුම් උත්සවයකට පෙර පුහුණුවීම් පැවති අවස්ථාවේදී, රණවිරු ස්මාරක භූමියට අයුතු ලෙස ඇතුළු වී රාජකාරියේ නිරත නිලධාරීන්ට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට අද (22) උදෑසන 10.00ට තලංගම පොලීසිය හමුවේ පෙනී සිටින්නැයි දන්වා තිබේ.
රණවිරු සේවා අධිකාරියේ සභාපති, විශ්‍රාමික බ්‍රිගේඩියර් සෙනෙරත් බණ්ඩාර කොහොන මහතා විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ක්‍රියාත්මක වේ.
පොලීසිය සඳහන් කරන්නේ, අදාළ දැනුම් දීමට අනුව විමල් වීරවංශ මහතා අද දිනයේ පොලීසිය වෙත නොපැමිණෙන්නේ නම්, ලංකා දණ්ඩ නීති සංග්‍රහ පනතේ 172 වගන්තිය ප්‍රකාරව ලබන 26 වැනි දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට පියවර ගන්නා බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අයුතු ජනරාශිය, අයුතු ඇතුළු වීම සහ රාජකාරියට බාධා කිරීම යන චෝදනා යටතේ තලංගම පොලීසිය විසින් පසුගිය 20 වැනිදා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබුණි.














