සර්වජන බලය ජාතික සංවිධායක දිලුම් අමුණුගම මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වන ලෙස කාන්තා හා ළමා කටයුතු ඇමැතිනි සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පොලිස්පතිවරයා වෙත ලිඛිත පැමිණිල්ලක් ගොනු කර තිබේ. අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුකරයක වින්දිත දැරියකට මෙම ප්‍රකාශය හරහා බරපතළ අගතියක් සිදු වන බව නිරීක්ෂණය වන බැවින් ඇය මෙම පියවර ගෙන ඇත.
අමාත්‍යවරියගේ පෞද්ගලික ලේකම්වරයා හරහා මෙම පැමිණිල්ල ගොනු කර ඇත්තේ “ගණිකාවකගේ ප්‍රකාශයක් මත අපේ අටමස්ථානාධිපති හාමුදුරුවෝ අත්අඩංගුවට අරන්” යනුවෙන් සඳහන් වන ප්‍රකාශය සහිත වීඩියෝ සබැඳිය ද සමගිනි. අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහායදීමේ හා ආරක්ෂා කිරීමේ පනතේ ප්‍රතිපාදන අනුව මෙම ප්‍රකාශය වින්දිත දැරියට සිදු කරනු ලබන බලපෑමක් ලෙස ඇය පෙන්වා දෙයි. බාල වයස්කාර දැරියකට මෙලෙස අවමන් කිරීම වාචික හිංසනය යටතේ බරපතළ වරදක් බැවින්, ඒ පිළිබඳව කඩිනම් නීතිමය විමර්ශනයක් පවත්වන ලෙස අමාත්‍යවරිය සිය පැමිණිල්ලෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.














