මෙරට සිදුවන සමස්ත මරණවලින් 34%කට පමණ හේතු වී ඇත්තේ අධි රුධිර පීඩනය නිසා හටගන්නා රෝග බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය අනතුරු අඟවයි. එම ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය ශ්‍රීනි අලහප්පෙරුම මහත්මිය පෙන්වා දෙන්නේ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකුගෙන් එක් අයෙකු අධි රුධිර පීඩනයෙන් පෙළෙන බවයි.
බොහෝ විට අධි රුධිර පීඩනය ශරීරයට දැනෙන රෝග ලක්ෂණ නොපෙන්වන බැවින්, වයස අවුරුදු 35ට වැඩි ඕනෑම අයෙකු අවම වශයෙන් මාස හයකට හෝ වසරකට වරක් තම රුධිර පීඩනය පරීක්ෂා කරගැනීමේ වැදගත්කම ඇය අවධාරණය කරයි. මෙරට අධි රුධිර පීඩනයෙන් පෙළෙන පිරිසගෙන් 63.9%ක් කිසිදු ප්‍රතිකාරයක් නොලබන අතර, ප්‍රතිකාර ලබන පිරිසෙන් පවා 39.1%කගේ රුධිර පීඩනය නිසි ලෙස පාලනය වී නොමැති බව ඇය වැඩිදුරටත් සඳහන් කරයි. ලුණු අධික ආහාර භාවිතය රුධිර පීඩනය ඉහළ යාමට ප්‍රධාන හේතුවක් බව ද වෛද්‍යවරිය පවසයි.














