දියතලාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබන පාසල් සිසුන් 18 දෙනෙකුගෙන් 10 දෙනෙකු මෙනින්ජයිටීස් රෝගීන් බවට මේ වන විට තහවුරු වී තිබේ. අනෙක් සිසුන් 8 දෙනා ද රෝග ලක්ෂණ සහිතව වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන අතර, ඔවුන් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කෙරේ.
තම දරුවා තුළ අධික උණ, බෙල්ලේ තද ගතිය, අධික නිදිමත හෝ සිහි මද ගතිය, ආලෝකය දෙස බැලීමේ අපහසුව, වමනය සහ ආහාර ප්‍රතික්ෂේප කිරීම හෝ සම මත ලප ඇතිවීම වැනි රෝග ලක්ෂණ නිරීක්ෂණය වන්නේ නම්, වහාම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා (PHI) දැනුවත් කර වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස දියතලාව මූලික රෝහල දෙමාපියන්ගෙන් සහ භාරකරුවන්ගෙන් ඉල්ලා සිටී.
රෝගය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පාසල් පරිශ්‍ර තුළ සහ නිවෙස් තුළ සිසුන් මුව ආවරණ (Mask) පැළඳීම අනිවාර්ය කරගැනීම, දෑත් නිතර සබන් යොදා සෝදා පිරිසිදුව තබා ගැනීම, වැසිකිළි භාවිතයේදී පිරිසිදුකම පිළිබඳ විශේෂ සැලකිල්ලක් දැක්වීම සහ සිසුන් විශාල වශයෙන් එක්රැස් වන සාමූහික ක්‍රියාකාරකම් හැකිතාක් අවම කිරීම වැනි සෞඛ්‍යාරක්ෂිත පුරුදු දැඩිව අනුගමනය කරන ලෙස උපදෙස් ලබා දී ඇත. මෙම තත්ත්වය පිළිබඳව අවධානයෙන් පසුවීම සහ සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි පිළිපැදීම මගින් රෝග ව්‍යාප්තිය පාලනය කරගත හැකිය.














