ශ්‍රී ලංකා ආර්ථිකය තුළ ඉන්ධන, විදුලිය සහ ප්‍රවාහන ගාස්තු ඉහළ යාමේ සෘජු බලපෑම සමස්ත වෙළෙඳපොළ වෙත ගලායෑම හේතුවෙන්, පසුගිය අප්‍රේල් මාසයේදී මෙරට ජාතික උද්ධමනය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. මේ අනුව, මාර්තු මාසයේදී 2.4% ක් ලෙස සටහන් වූ ජාතික පාරිභෝගික මිල දර්ශකය (NCPI) මත පදනම් වූ මතුපිට උද්ධමනය (Headline Inflation), අප්‍රේල් මාසය වන විට 4.7% ක් දක්වා වේගයෙන් ඉහළ ගොස් ඇත. අප්‍රේල් මාසයේදී සමස්ත ජාතික පාරිභෝගික මිල දර්ශකය 216.3 ක් දක්වා වර්ධනය වී ඇති අතර, එය මාර්තු මාසයට සාපේක්ෂව 2.54% ක මාසික ඉහළ යාමකි.
මෙම අප්‍රේල් මාසයේ දත්ත අනුව පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාවේ උද්ධමන පීඩනය මෙතෙක් පැවති ආහාර මිල මත පමණක් නොව, බලශක්ති සහ සේවා ක්ෂේත්‍රවල මිල ගණන් ඉහළ යාම මත තීරණය වී ඇති බවයි. ආහාර නොවන උද්ධමනය (Non-food Inflation) මාර්තු මාසයේ පැවති 3.8% සිට අප්‍රේල් මාසයේදී 7.8% දක්වා සුවිශේෂී ලෙස ඉහළ ගොස් ඇති අතර, ආහාර උද්ධමනය (Food Inflation) 0.7% සිට 1.1% දක්වා ඉහළ ගොස් ඇත්තේ ඉතා සුළු වශයෙනි. වාර්ෂික පදනමින් බලන කල ආහාර නොවන කාණ්ඩය සමස්ත උද්ධමනය සඳහා ප්‍රතිශත ලක්ෂ්‍ය 4.26 ක දායකත්වයක් ලබා දී ඇති අතර, ආහාර කාණ්ඩයෙන් ලැබී ඇත්තේ ප්‍රතිශත ලක්ෂ්‍ය 0.50 ක දායකත්වයක් පමණි. මෙහිදී ප්‍රවාහන පිරිවැය ඉහළ යාම (ප්‍රතිශත ලක්ෂ්‍ය 1.69) සහ නිවාස, ජලය, විදුලිය, ගෑස් ඇතුළු ඉන්ධන පිරිවැය ඉහළ යාම (ප්‍රතිශත ලක්ෂ්‍ය 1.26) උද්ධමනය ඉහළ නැංවීමට ප්‍රධාන වශයෙන්ම බලපා තිබේ.
මැදපෙරදිග කලාපයේ පවතින දේශපාලන අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බලශක්ති මිල ගණන් ඉහළ යාම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහන යටතේ පිරිවැය පියවා ගත හැකි මිල සූත්‍ර ක්‍රියාත්මක කිරීම හේතුවෙන් මෙලෙස දේශීය වශයෙන් විදුලි ගාස්තු සහ ඉන්ධන මිල ඉහළ දැමීමට රජයට සිදු විය.














