අම්බලන්තොට, මාමඩල බොකුටුයාය ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර, ඔහුගේ හිස කඳින් වෙන්කර මාමඩල හන්දියේ පිහිටි රත්නාවලී දේවියගේ පිළිරුවේ දෑත් මත තබායාමේ බිහිසුණු අපරාධයේ ප්‍රධාන සැලසුම්කරු සහ ආධාර අනුබල දුන් ප්‍රධාන සැකකරු ඊයේ (21) රාත්‍රී අත්අඩංගුවට ගත් බව අම්බලන්තොට පොලීසිය පවසයි.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ‘කරුණෙ ලොක්කා’ නැමැති පුද්ගලයෙකු වන අතර, ඔහු අපරාධ නඩු කිහිපයක් සම්බන්ධයෙන්ම අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර සිටි අයෙකි.පසුගිය මැයි 11 වැනිදා රාත්‍රියේ බොකුටුයාය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදීම මෙලෙස අමානුෂික ලෙස ඝාතනයට ලක්වූයේ වීරසේකර ආරච්චිගේ ලක්මාල් සඳරුවන් (34) නැමැති තිදරු පියෙකි. ඝාතනයට ලක්වූ පුද්ගලයා මීට පෙර මාමඩල ප්‍රදේශයේම සිදුවූ සුප්‍රකට ත්‍රිත්ව ඝාතනයක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිට මෑතකදී ඇප මත පැමිණ සිටි අයෙකු බව විමර්ශනවලදී අනාවරණය වී තිබුණි.මෙම අපරාධය සිදුවූ වහාම ක්‍රියාත්මක වූ අම්බලන්තොට පොලීසිය සහ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මඟින් මීට පෙර ඍජු ඝාතකයන් ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි. ඔවුන් ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් අතර, හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළඹෙන ජුනි මස 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.පොලීසිය සිදුකළ අඛණ්ඩ ප්‍රශ්න කිරීම්වලදී හෙළිව තිබුණේ මෙම මුළු ඝාතන සැලැස්ම පිටුපස ‘කරුණෙ ලොක්කා’ නැමැත්තා සිටින බවයි. ඔහු මාමඩල ප්‍රදේශයේම රැඳී සිටින බවට ලත් රහසිගත තොරතුරකට අනුව ඊයේ රාත්‍රී වැටලීමක් සිදුකර සැකකරුව කොටු කරගැනීමට පොලීසිය සමත් විය.අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.
















