වත්මන් රජයට රට පාලනය කිරීමේ හැකියාවක් නොමැති බවත්, ඒ නිසාම ඔවුන් නුදුරේදීම පාලනය අත්හැරීමට කටයුතු කරනු ඇති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා පවසනවා. රජය කෙරෙහි පවතින ජනතා සහ ජාත්‍යන්තර විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති බවත්, රටේ ආර්ථිකය අගාධයකට ඇද දමා ඇති බවත් ඔහු චෝදනා කරනවා.
ජාතික ජන බලවේගය තුළ මේ වන විට බරපතල අර්බුදයක් හටගෙන ඇති බව සඳහන් කරන මන්ත්‍රීවරයා, එම පක්ෂයේ සාමාජිකයන් 12 දෙනෙකු දැනටමත් සිය අස්වීමේ ලිපි ලබා දී ඇති බවත්, එම සංඛ්‍යාව ඉදිරියේදී තවදුරටත් ඉහළ යනු ඇති බවත් අනාවරණය කළා. පක්ෂය තුළ සිටින උගත් කණ්ඩායම්වල හඬට ඉඩක් නොලැබෙන බවත්, සියලු තීන්දු තීරණ ගනු ලබන්නේ දහපාලොස් දෙනෙකුගෙන් යුත් සන්නද්ධ අතීතයක් සහිත පිරිසක් විසින් බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියා.
රටේ ආර්ථික කළමනාකරණය සම්පූර්ණයෙන්ම අසාර්ථක වී ඇති බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා, ආසියාවේම රුපියල වේගයෙන් කඩා වැටුණු පළමු රට බවට ලංකාව පත්ව ඇති බව සඳහන් කරනවා. අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ඉහළ දමමින් රජය විසින්ම කළු කඩයක් නිර්මාණය කර ඇති බවත්, ඒ හරහා පෞද්ගලික අංශය අසාධාරණ ලෙස ලාභ ලබන බවත් ඔහු පවසනවා.
වාහන ආනයනය සම්බන්ධයෙන් රජය ගත් තීරණ දැඩි ලෙස විවේචනය කළ විතාන මහතා, අයවැයට පෙර වාහන බදු පිළිබඳ රහස් තොරතුරු ව්‍යාපාරිකයන් වෙත ලබා දී ඇති බවට චෝදනා කළා. බදු වැඩි වීමට පෙර ණයවර ලිපි (LC) විවෘත කර වාහන දහස් ගණනක් ගෙන්වා අයුතු ලාභ ලැබීමට ඇතැම් ව්‍යාපාරිකයන් කටයුතු කර ඇති බවත්, මේ සඳහා රජයේ ප්‍රධානීන්ගේ සම්බන්ධයක් ඇති බවත් ඔහු ප්‍රකාශ කළා.
පවතින තත්ත්වය හමුවේ දේශපාලකයන් කෙරෙහි ජනතාව තුළ දැඩි වෛරයක් නිර්මාණය වෙමින් පවතින බවත්, මෙය පෙර පැවති අරගලයටත් වඩා එහා ගිය “එපාවීමක්” බවත් ඔහු අවධාරණය කරනවා. භාණ්ඩාගාරය හිස් කරමින් රජය ගෙනයන මේ වැඩපිළිවෙළට එරෙහිව ජනතාව නුදුරේදීම තීන්දුවක් ගනු ඇති බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.














